Monday, December 31, 2012

සීතල හිම රටේ

අපිටනම් තාම දෙසැම්බර් 31. ඒත් ඔයාලා වැඩි දෙනෙක්ට දැනටමත් 2013 නව වසර ලබලා. එහෙනම් සුබ නව වසරක් වේවා ඔක්කොටම.

පහුගිය දවස් ටිකේම බ්ලොග් පැත්ත පළාතේ එන්න උනේ නෑ. ගොඩක් ඒවා කියවන්න උනෙත් නෑ ඉතින් :( . නිශාන්තය අහන්න යන්නත් බැරි උනා නේ. සෙමෙස්ටරයක් ඉවර වෙලා ලැබෙන පුංචි නිවාඩුව හින්දා මේ ටිකේම ගෙදරක නෑ. ගෙට් ටුගෙදර්ද පාටිද අරවද මේවද වැඩ කෝටියයි. ඇයි මේ දවස්වල පළාතම හිමෙන් වැහිලා හින්දා ස්ලෙඩින්, ස්කේටින් එහෙමත් යන්න එපැයි.

ඒක කිව්වම මතක් උනේ, සරත් සෘතුවේ පින්තූර දැම්මා වගේ සිසිරයේ පින්තූර ටිකකුත් දැම්මොත් හොඳයි කියල හිතෙනවා. ලියන්න තියන කම්මැලි කමට එහෙම නෙමෙයි ඔන්න ;)



හිම වැටෙනා....සුදු කන්ද දිගේ...







ඔය තියෙන්නේ අපේ ගෙයි පිටිපස්සේ පුංචි මිදුල් කෑල්ලේ හිම පිරිලා තියන හැටි.



මේ ඉබ්බෝ වගේ ඉන්නේ කාර්...



හිම කතරක අතරමංව...කාඩිනල් කුරුල්ලා 



ආ මේ තියෙන්නේ එක්කෙනෙක් ස්ලෙඩින් ගිහින් කකුල් හතරෙන් ආපු හැටි :)



2012 අවුරුද්දේ තව ඉතුරු වෙලා තියෙන්නේ පැය කීපයයි. ලංකාවෙදි නම් මේ වෙලාවට 31 රෑ පෙන්නන හින්දි ෆිල්ම් එක බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඒක බලලා පළවෙනිදායින් බාගයක් ගෙවුනට පස්සේ තමයි ඇඳෙන් නැගිටින්නේ. මෙහෙනම් ජනවාරි පළවෙනිදා නිවාඩුයි. ඒත් ඉතින් හින්දි ෆිල්ම් පෙන්නන්නේ නැහැනේ ටී වී එකේ.

පළවෙනිදා නිවාඩු හින්දා කොහේ හරි කෑමකට එකතු වෙයි කට්ටිය සමහරවිට. අපේ අයට ඉතින් කෑමක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ නේ. හ්ම්ම්...හැබැයි ඉතින් කොච්චර කෑම තිබුනත් බීම නම් නෑ අපේ කට්ටියගේ ;) ඒකම ලොකු දෙයක් නේ. මොකද මන්දා මෙහාට ලංකාවෙන් ආපු හැම කෙනාම අමධ්‍යපයි. ඒවා නැති උනා කියලා පාටි අඩුවකුත් නෑ ඒවායේ විනෝදයේ අඩුවකුත් නෑ. හැම කෙනාටම එහෙම ඉන්න පුළුවන්නම් කොයි තරම් හොඳද කියල හිතෙනවා. අලුත් අවුරුද්දේ එක්කෙනෙක් දෙන්නෙක් හරි අමධ්‍යප වෙන්න හිතට ගත්තොත් ඒක ලොකු දෙයක්. :)

එහෙනම් ඉතින් හැමෝටම සියලු සිතුම් පැතුම් ඉටුවන, සිතුම් පැතුම් නැති අයට ඒවා ඇති වෙන,  සුබ නව වසරක් කියන ගමන් මාත් යනවා. ගිහින් එන්නම්. අලුත් අවුරුද්දේදී හම්බ වෙමු.

Wednesday, December 19, 2012

නොපිපී පරවුණ පුංචි කැකුළු මල්




පහුගිය  දවසක ඇමරිකාවේ පාසලක පුංචි ළමයි 20 ක් ඇතුළු විසි හය දෙනෙක් තුවක්කුවකින් වෙඩි තියලා මරලා දාපු ආරංචිය හැමෝම දන්නවා ඇති කියලා හිතනවා.වයස අවුරුදු පහත් දහයත් අතරේ පුංචි ළමයි ටිකකට කිසිම හේතුවක් නැතුව වෙඩි තියලා දාන්න තරම් මානසික ආබාධයක් තියන මිනිස්සුන්ව බිහි කරන්න මේ ලෝකේ කොයි තරම්නම් පිරිහිලාද කියලා හිතෙනවා .

එදා උදේ පාන්දර පොඩි එවුන්ව වෙනද වගේම ලස්සනට ලැස්ති කරවලා පාසල් බසයට නග්ගද්දී  ඒ පුංචි අත තමන්ගෙන් ගිලිහුනේ සදහටම බව ඒ දෙමව්පියන් හිතන්න නැතුව ඇති. ඒත් පැය කීපයක් යන්නත් කලින් "සැන්ඩි හුක්" ප්‍රාථමික පාසලේ වෙච්ච වෙඩි තැබීමක් ගැන ප්‍රවෘත්තිය ඔවුන්ගේ කනට වැටුනා. තමන්ගේ දරුවන්ට කරදරයක් නොවන්නැයි දෙවියන් යදිමින් පාසලට දුව ආ දෙමව්පියන්ට සිද්ධ උනේ පොලීසිය විසින් ලකුණු කර සීමාවට එපිටින් රැඳී ඉඳිමින් දරුවා නිරුපද්‍රිතව එලියට එනතුරු බලා සිටින්නයි.

එහෙත්...

විනාඩියෙන් විනාඩියට කාට හෝ කෙනෙකුට පාසල ඇතුලෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ ඔවුන්ගේ දරුවා මියගොස් ඇති බව දන්වන පණිවිඩය...




කිසියම් මානසික ආබාධිතයෙකු විසින් පුංචි ජිවිත විස්සකුත් ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හය දෙනෙකුත් බිලි අරගෙන තිබුණා.

ඇමරිකන් ඉතිහාසයේ දරුණුම කැළලක් බවට දැනටමත් පත් වී ඇති මේ සිද්ධිය ගැන තවමත් කතාබහ අඩුවක් වෙලා නැහැ.මේ අමානුෂික ක්‍රියාව කරලා තිබුණේ " ඇඩම් ලන්සා" නම් විසි හැවිරිදි තරුණයෙක්. ඔහු පාසලට කඩා පැනීමට මොහොතකට පෙර තමන්ගේ මවගේ මුහුණට වෙඩි තබා ඇයද මරා දමා තිබුණා. ඔහු එතනින් පිට වෙලා තිබුණේ මවගේ ආයුධ එකතුවෙන් තුවක්කු කිහිපයක්ම අරගෙනයි (ඔහුගේ මවද ආයුධ එකතු කරන්නියක් බව මෙහිදී විශේෂ කරුණකි). ළමයින්ට වෙඩි තැබීමෙන් පසු තම ජිවිතයද තොර කර ගැනීමට තරම් ඔහු සැළකිලිමත් වෙලා තිබුණා.

මීට ටික කලකට ඉහතදී මෙවැනිම පිස්සෙක් විසින් ඩාක් නයිට් රයිසස් නම් චිත්‍රපටයේ පළමු තිරගත කිරීමේදී සිනමා හලකට කඩා වැදී නරඹන්නන්ට ඉවක් බවක් නැතුව වෙඩි තැබුවා. මෙවන් ඛේදවාචක සිදු වන්නේ ඇයිදැයි යන්න වහා සොයා බැලිය යුතු කාරණයක්.

ඇමරිකාවේ සාමාන්‍ය මිනිසුන්ට ඇති ඉතාමත්ම ලේසියෙන් ගිනි අවි මිල දී ගැනීමේ පහසුකම සැලකිය යුතු ගැටළුවක් . අද හැම කෙනෙක් ලඟම ජංගම දුරකථනයක් තිබෙන්නා සේ තවත් ටික දිනකින් සාක්කුවේ ගිනි අවියක්ද නැතුවම බැරි අවස්ථාවකට ඇමරිකන් සමාජය එළඹෙනු ඇති. පුංචි වචන හුවමාරුවක් උනත් ප්‍රතිවාදියාට වෙඩි තබා තමාද වෙඩි තබා ගන්නා අවස්ථා ඕනා තරම් අසන්නට ලැබෙනු ඇති. අඩු තරමේ "මැෂින් ගන්" වැනි අවි වලටවත් සීමාවක් පනවයි නම් මෙවැනි සමූහ මිනී මැරුම් සංඛ්‍යාවවත් අඩු වීමට ඉඩ තිබේ.

එහෙත් ඒ ප්‍රශ්නයේ මුල නොව අන්තිම කොනයි.. මේ උදාහරණයම ගත්තොත් මිනීමරුවාගේ මව දෙස බැලූ විටද ඇගේද වරදක් ඇති බව පෙනේ. මා පිය දූ දරු සබඳතා අන්තයටම පිරිහී යමින් තිබෙද්දී, දරුවන් ග්‍රැෆික් සෙල්ලම් ලෝක වල තනි වී ප්‍රතිවාදී පිලට වෙඩි පිට වෙඩි තබා මරා දැමූ සතුරන් ප්‍රමාණය ගණන් කර සතුටු වෙන, ලෝකයක මෙවැනි මානසික ලෙඩුන් බිහි වීම අරුමයක් නොවේ.

ජනාධිපති ඔබාමා මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොරොන්දු වුවත් එය බොහෝ විට ප්‍රශ්නයේ අග කොන කපා දැමීමක් වනු ඇති. එසේ වෙයිනම් ඒකත් ලොකු දෙයකි. එහෙත් ඔහුගේ නෙතට කඳුලක් නැගුනේ බොරුවට නම් නොවේ යයි මම සිතමි.

"They had their entire lives ahead of them...birthdays, graduations, weddings, kids of their own......
  Our hearts are broken today..for the parents, grand parents, sisters and brothers of these little children... 
  May god bless the memory of victims...and in the words of scripture, heal the brokenhearted... and bind up  their wounds" - President Obama


Wednesday, December 5, 2012

ලෙයට ලෙය මුණගැසේ - රාජාවලිය XXV

ඔන්න එහෙනම් මගෙනුත් වලියක්. රාජා "වලිය" තවත් කොටසක් :)

                                                              ~~~~~~~~~~~~~



අපි ගිය පාර රාජාවලිය ලිපිය නැවැත්තුවේ දෙවන මිහිඳු රජතුමාගේ පුතා මිය ගිය එක ගැන කියලනේ. මේ හින්දා රජතුමා හිටියේ ගොඩක් කණගාටුවෙන්. සේරටමත් වඩා ලංකාවට අනාගත රජෙක් නැති වෙන නිසා. හැබැයි ඒ ලිපියේ අන්තිමට අපි කිව්වනේ මෙතන රහසකුත් තියනවා කියලා. අද බලමු ඒ රහස මොකක්ද කියලා.

දෙවන මිහිඳු රජතුමා රජ වෙන්නත් කලින් ඔහුට බිරිඳක් හිටියා ලු. පසුව ඇය වෙන් වෙලා ගියත් රජුට දාව පුතෙක් ඇයට ලැබිලා තියනවා. ඒත් මේ පුතාවත් පියාවත් එකිනෙකාට අඳුනන්නේ නැහැ. බිරිඳ රජුගෙන් වෙන් උනාට පස්සේ තමයි දරුවා ලැබෙන්න ඇත්තේ. මේ වෙද්දී ඒ පුත්‍රයා ලොකු වෙලා රාජකීය හමුදාවේ සේවය කරන දක්ෂ සෙබළෙක්. ඔහුගේ නම "උදය". දප්පුල සමග කරපු සටන් වලදීත් රජතුමාට බෙහෙවින්ම උපකාරී උනේ ඔහු. ඒ වෙනුවෙන් රජතුමා ඔහුට උසස් වීම් සහ තුටු පඬුරු දුන්නත් රජතුමා දැනගෙන හිටියේ නැහැ ඒ ඔහුගේ පුතෙක් බව. මේ විදියට දිගින් දිගටම උදයගේ දක්ෂතාව කැපී පෙනෙද්දී රජතුමාට ඕන උනා ඔහුගේ අලගිය මුලගිය තැන් හොයාගන්න. ඔන්න එතකොට තමයි රජතුමාට දැනගන්න ලැබුනේ ඒ තමන්ගේම පුතා බව.

ඉතින් රජතුමා වහාම උදය ව කැඳවනවා මාලිගාවට. කැඳවලා ඔහුගෙන්ම විස්තර දැන ගන්නවා. ඉතාමත් සතුටට පත් වෙන රජතුමා ඔහු තමන්ගේ පුතා බවට නිල වශයෙන්ම බාර ගෙන යුව රජ කමත් පිරිනමනවා. ඔන්න ඔහොමයි ප්‍රධාන අණදෙන නිලධාරී උදය, "උදය කුමරු" බවට පත් උනේ. ඉතින් කොහොමහරි ක්‍රි. ව. 807 දී දෙවන මිහිඳු රජතුමා මියගියාම රජ බවට පත් වෙන්නේ උදය රජතුමා (ක්‍රි. ව. 807 - 812).

මේ කාලයේදී රුහුණ පාලනය කරලා තියෙන්නේ "දාඨසිව" නම් පාලකයෙක්. ඔහුගේ පුතා "මහින්ද" කිසියම් හේතුවක් නිසා දාඨසිව එක්ක විරසක වෙලා අනුරාධපුරයට පැන විත් උදය රජුගේ රැකවරණය පැතුවා ලු. ඉතින් උදය රජතුමාත් මේ කුමාරයාට ඉඳුම් හිටුම් විතරක් නෙමෙයි කල් යද්දී තමන්ගේ දියණියත් සරණපාවලා දෙන්න තරම් කාරුණික උනාලු. ඉන් පස්සේ ඔවුන්ගේ ඉලක්කය උනේ රුහුණ ජයගැනීම. මේ සඳහා සේනාව මෙහෙයවන්නේ මහින්ද කුමරු. ඔහු මාමණ්ඩිය වෙනුවෙන් තමන්ගේ පියා එක්ක යුධ වදිනවා. යුද්ධයෙන් පරදින දාඨසිව ඉන්දියාවට පලා යද්දී මහින්ද කුමරු ඒ පසුපස ලුහු බැඳීමෙන් වැළකිලා පියාට පැන යන්න ඉඩ සලසා දෙනවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ රුහුණේ පාලකයා බවට පත් වෙන්නේ මහින්ද කුමරු.

ඉතින් උදය රජතුමා ධාර්මිකව රජකම් කරපු රජ කෙනෙක්. අනාගත ප්‍රයෝජනය සඳහා එකල පැවතුණු නීති රීති ලේඛනගත කරලා තියන්නත් එතුමා කටයුතු කළා ලු. අන්ධ අයට සහ අනෙක් ආබාධිත අයට ජිවත් වෙන්න ගොඩනැගිලි ඉදි කරලත් තියනවා.  කොහොම උනත් ඔහු වැඩි කල් රජකම් නොකරම ක්‍රි. ව. 812 දී මිය පරලොව යනවා. ඉන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ වැඩිමහල් පුත් "මහින්ද / මිහිඳු III" (ක්‍රි. ව. 812 - 816). ඔහුත් ඉතා ධාර්මික රජ කෙනෙක්. මේ නිසාම ඔහු "ධාර්මික සිලාමේඝ" කියලත් හැඳින්නුවා ලු.

ඉන් පස්සේ රජ උනේ ඔහුගේ සොහොයුරු "අග්බෝ VIII" (ක්‍රි.ව. 816 - 827). ඔහුත් පියාගේ සහ සොහොයුරාගේ අඩි පාරේ යමින් ඉතාමත් හොඳින් රට පාලනය කළා. පෝය දිනවල මාළු, මස් සහ මත් ද්‍රව්‍ය ඇතුල් නුවරට ගෙන ඒම තහනම් කළා. ඒ වගේම තමන්ගේ මවට ඉතාමත් හොඳින් සලකපු කෙනෙක් තමයි එතුමා. තමන්ගේ අත් දෙකෙන්ම ඇය නෑවීම, කැවීම, හිසේ තෙල් ගැල්වීම ආදී හැම දෙයක්ම කරලා තියෙන්නේ ඉතාමත් සතුටින්. ක්‍රි. ව. 827 දී එතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "දප්පුල II" (ක්‍රි. ව. 827 - 843).

දැන් එතකොට මතකයිනේ උදය රජතුමාගේ බෑනා වෙච්ච මහින්ද කුමාරයා රුහුණේ පාලකයා බවට පත් උන හැටි? තවමත් ඔහු තමයි රුහුණේ පාලකයා. මේ අතරේ මහින්ද කුමාරයාගේ පුතුන් දෙදෙනාගේ ("කිස් අග්බෝ" සහ "දප්පුල") හැසිරීම ගැන අසතුටු වෙන ඔහු, පුතා සමග අමනාප වෙලා ඔහුව පලවා හරිනවා. පියාගෙන් පලා එන කුමාරයා පිහිට පතන්නේ දප්පුල රජතුමාගෙන්. දැක්කා නේද ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙන හැටි? දප්පුල රජතුමාත් මේ කුමාරවරු දෙන්නා යොදා ගෙන මහින්දට විරුධව රුහුණ ජයගැනීමේ සටනක් දියත් කරනවා. මහින්ද ඔහුගේ පියාට කළ දේම ඔහුගේ පුතුනුත් ඔහුට කරනවා. හැබැයි ඒ සටන වැළකෙන්නේ මේ කුමාරවරු දෙන්නා සේනාව වෙනත් නිලධාරියෙකුට භාර දීලා ආපහු එන නිසා.

මේ අතරේ මහින්ද ට තවත් තර්ජනයක් එල්ල වෙනවා ඔහුගේ වෙනත් නෑයෙක් ගෙන්. ඒ සටනෙන් මහින්ද මිය යන අතර තුවාල ලබපු නෑයාත් ඉක්මනින් මිය යනවා. ඉන් පස්සේ දප්පුල රජතුමා ඔහුගේ දියණිය කිස් අග්බෝ කුමාරයාට සරණපාවා දීලා දකුණු ප්‍රදේශයේ පාලනය ඔහුට බාර දෙනවා. ක්‍රි. ව. 843 දී දප්පුල රජතුමා මිය ගියාට පස්සේ ඔහුගේ පුත්‍රයා "අග්බෝ IX"  (ක්‍රි. ව. 843 - 846) නමින් රජ වෙනවා. අග්බෝ රජ වෙච්ච එකට විරුද්ධ උණු , දෙවන දප්පුල රජුගේ සහෝදරයාගේ පුත්‍රයා ඔහුට විරුද්ධව සටන් කළත් අග්බෝ රජු සටනින් ජයග්‍රහණය කරනවා. ඒත් කුමක් හෝ හේතුවක් නිසා අග්බෝ රජතුමා ඉක්මනින්ම මිය යනවා.

ඊ ලඟට රජ උනේ කවුද කියලා අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් බලමු.

Friday, November 30, 2012

ඉරානයේ කනෙන් රිංගූ "ආගෝ" රහස් මෙහෙයුම

වෙනදා වගේම එදාත් ටෙහෙරාන් නගරයට ඉර පෑව්වත් වැහි අඳුර නිසා හෝ වෙනයම් අදිසි හේතුවක් නිසා ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලයටනම් දැනුනේ වෙනදා නොදැනෙන අමුත්තක්. "අල්ලාහු අක්බර්...මග්බර් අමරිකා" කියමින් ඉදිරිපස දොරටු ළඟ පෙරලි කරන ඇමරිකන් විරුද්ධවාදී ජනතාව ඔවුන්ට සුපුරුදු දසුනක් උනත් අන් කවරදාටත් වඩා එදා එය රළු සහ උණුසුම් මුහුණුවරක් ගත් බව කාටත් වැටහුනා.

ඉරාන ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර රටින් නෙරපා දැමූ, ඉරානයේ අවසාන රජු හැටියට සැළකෙන "මුහම්මද් රීzසා ෆලාවී (Mohammad Rezā Shāh Pahlavī)" ට ඇමරිකාව විසින් රැකවරණය සැලසීම නිසා ඇමරිකානු පුරවැසියෙක් දැකීමත් වහ කදුරු තරමට තිත්ත වූ ඉරාන වැසියන් පවත්වන උද්ගෝෂණ වලිනුත් මිනිස් සංහාර වලිනුත් ටෙහෙරානය පිරී තිබූ කාලයකි ඒ.

දිනය - 1979 නොවැම්බර් 4
ස්ථානය - ඇමරිකන් තානාපති කාර්යාලයය



ඉදිරිපස ගේට්ටුව ළඟ අරගල කළ කැරලි කරුවන් බලෙන් ගේට්ටු අරවාගෙන ඇතුලට එන බව දුටු කාර්ය මණ්ඩලය භීතියට පත් උනත් අවස්ථාවේ හැටියට ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට වගබලා ගත්තා. ඇතැමෙක් වීසා මුද්‍රණ අච්චු විනාශ කරද්දී තවත් අය, ඉරානයින් අතට පත් නොවිය යුතු  ලියවිලි ආදිය විනාශ කරමින් අවසාන මොහොතේත් තමන්ගේ රාජකාරිය ඉටු කරා. මේ අතර ගොඩනැගිල්ලේ විදුලි සැපයුම කපා දැමූ කැරලි කරුවන් වහලට නැග දුම් බෝම්බ දැමීම අරඹා තිබුණා. ගඟක් ගලන්නා සේ ගේට්ටුවෙන් ඇතුලට ඇදී ආ කුපිත වූ ජනතාව අතරෙන් වෙඩි හඬ කිහිපයක් ඇසෙත්ම එහි තව දුරටත් රැඳීම කිසි සේත්ම නුවණට හුරු නොවන බව ඇමරිකන් සේවකයින්ට වැටහුණා.

වාසනාවකට මෙන් ඔවුන් සේවය කළ ගොඩනැගිල්ලෙන් කෙලින්ම වීදියකට බසින ආකාරයට පිට වීමේ දොරටුවක් තිබුණු නිසා පැන යාමට මාර්ගයක් තිබුණා. ඔවුන්ගේ සැලසුම උනේ පුද්ගලයින් පහක් හෝ හයක් බැගින් කුඩා කණ්ඩායම් සැදී මුලින්ම තානාපති කාර්යාලයේ සේවය කළ ඉරාන සේවකයින්ද, දෙවනුව විවාහක ජෝඩු ද, අවසානයට ඉතිරි ඇමරිකන් සේවකයින්ද වශයෙන් විවිධ දිශා වලට පලා යාමයි. එම ගොඩ නැගිල්ලේ ඇමරිකානුවන්  12 දෙනෙක් ද  ඉරානයින් 40 ක 50 ක පමණ ප්‍රමාණයක්ද සේවය කළා. සැලසුම් කළ ආකාරයට වීදි බට ඔවුන් විවිධ දිශාවන්ට ගමනාරම්භ කළා.

උතුරු දිශාවට ගිය කණ්ඩායම වැඩි වෙලාවක් නොගොස් කැරලි කරුවන් අතට අසු වූ නිසා නැවතත් තානාපති පරිශ්‍රය ට ගෙන එනු ලැබුවා. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ඇතුල් වීමේ අදහසින් බටහිර දෙසට ගිය තවත් කණ්ඩායමක් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පෙනෙන මානයටම ආවත් එහිදී තවත් ඇබැද්දියකට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. මේ කණ්ඩායමට අයත් උනේ "ජෝෂප් සහ කැතලින් ස්ටැෆඩ් යුවළ", "මාක් සහ කෝරා ලිජේක් යුවළ", "රොබට් ඇන්ඩර්ස් නම් ජේෂ්ට නිලධාරියෙක්" සහ ඉරාන සේවකයෙක් පමණයි. බ්‍රිතාන්‍ය කාර්යාලය පෙනි පෙනී තිබෙද්දී ඔවුන්ට දකින්න ලැබුනේ උද්ගෝෂකයින්ගේ තවත් පෙළපාලියක්. ඔවුන්ට ඒ දෙසට නොයන ළෙසට අවවාද කරපු කණ්ඩායමේ සිටි ඉරාන සේවකයා සෙනගත් සමග මිශ්‍ර වී නොපෙනී ගියා.

ඉතිරි වූ ඇමරිකානුවන් පස් දෙනාට ඉතිරි උනේ එක විකල්පයයි. කැරලි කරුවන් මග හරිමින් සිග් සැග් ගමනක යෙදුනු ඔවුන් අවසානයේ "රොබට් ඇන්ඩර්ස්" ගේ කුලී නිවස වෙත ලඟා උනා. ගෙතුලට වැදුණු ඔවුන් මුලින්ම කළේ රේඩියෝව දමා තානාපති කාර්යාලයේ තොරතුරු ජාලයට සම්බන්ධ වී තත්ත්වය පිරික්සීම. ට්‍රක් වල පටවා ගෙනෙන රයිෆල් ඇතුළු ආයුධ, කැරලි කරුවන් විසින් බිමට බාමින් තිබූ අයුරු ඔවුන්ට දැන ගන්නට ලැබුණා. මේ අතර වෙනත් ගොඩනැගිලි වල සේවය කළ ඇමරිකානුවන් 52 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන තිබුණා. තවත් ටික වෙලාවක් යද්දී තොරතුරු ජාලයෙන් ඇසුණු ඉංග්‍රීසි කටහඬවල් නැත්තටම නැති වෙලා "පාසි" භාෂාව පමණක් ඇහෙන්න ගත්තා. මේ වෙලාවේදී ඔවුන්ට තේරුණා අනුන්ගේ රටක කාගේවත් පිළිසරණක් නැතුව තමන් කොටු වෙලා බව. දින කීපයක්ම එකිනෙකාගේ නිවෙස් වල සැඟවී සිටියත් එය වැඩිකල් කළ හැකි සෙල්ලමක් නොවන බව වීදි පුරා තමන් සොයමින් සිටි "මරණය" දුටු ඔවුන්ට තේරුම් යන්න වැඩි කලක් ගියේ නැහැ. දුරකථන ඇමතුමක් ගැනීම පවා අවස්ථාවේ හැටියට අන්තරාදායක උනා.

අවසානයේදී අන්තරාය පසෙක ලා රොබට් විසින් ඇමතුමක් ගන්නවා කැනේඩියන් එම්බසියේ වැඩ කරන "ජෝන් ශියර්ඩවුන්" නම් ඔහුගේ මිතුරෙකුට. දෙවියන් එවූ මිතුරෙකු සේ ඔවුන්ට පිහිට වූ කැනේඩියන් ජාතික ජෝන්, ඔවුන්ගෙන් විමසා සිටියේ ඊට කලින් ඔහුට කතා නොකළේ ඇයි දැයි යන්නයි. අසරණ වූ ඇමරිකානුවන් තම වාසස්ථානයට ගෙන ගිය පසු තවත් "හෙන්රි" නම් පණ බේරා ගත් ඇමරිකන් තානාපති කාර්යාල සේවකයෙන් ඔහු වෙත පැමිණෙනවා .


                                                      සේවකයින් සය දෙනා එවකට ජනාධිපති සමග 


පසුව ආරක්ෂාව සළකා කණ්ඩායම දෙකට බෙදන ශියර්ඩවුන්, ඉන් තිදෙනෙක් කැනේඩියන් තානාපති "කෙන් ටේලර්" ගේ නිවසට පිටත් කරනවා. මේ ආකාරයට ඉඳුම් හිටුම් ලැබෙන ඔවුන්ට සියළුම සුඛෝපභෝගී කෑම බිම සහ වෙනත් දේ ලැබුනත් නිවසින් එලියට එක අඩියක් තැබීමට අවස්ථාවක් නැහැ. එය කොයි තරම් වෙහෙසකර දෙයක් වන්නට ඇත්ද? ඔවුන්ට එසේ සැඟවෙමින් සිටීමට සිදු වූ කාලය දින 444 ක්.

                                                         ~~~~~~~~~~~~~~~

මේ අතර ඉරාන කැරලිකරුවන් විසින් අත්පත් කරගත් තානාපති කාර්යාලයේ අමුතුම මාදිලියේ කටයුත්තක් සිද්ධ වෙමින් තිබුණා. සේවක මණ්ඩලය පලා යාමට පෙර ශ්‍රෙඩර් යන්ත්‍ර ආධාරයෙන් කීතු කරනු ලැබූ ලිය කියවිලි මිනිස් ශ්‍රමය යොදා ගෙන නැවතත් කෑලි අමුණා සම්පූර්ණ කෙරෙමින් තිබුණා. සේවකයින් ගණන, ඔවුන්ගේ ඡායා රූප සහ විස්තර මේ හැම දෙයක්ම අනාවරණය වෙමින් තිබුණා. ඒ වගේම සේවකයින් කිහිප දෙනෙක් ඔවුන්ගෙන් මිදී පැන ගොස් ඇති බව අනාවරණය වෙන්නත් වැඩි දවසක් ගියේ නැහැ.

මේ හැම දෙකින්ම පැන නැගුන එකම අවශ්‍යතාවය නම් කෙසේ හෝ මොවුන් හය දෙනා ඉරානයෙන් පිට කර ගැනීමයි. ඇමරිකන් සහ කැනේඩියන් ආණ්ඩු දෙකම මේ සඳහා සැළසුම් අඳිමින් සිටියා. මේ සඳහා ඉදිරිපත් උන එක යෝජනාවක් නම් දේශ සීමාව පනින තුරු බයිසිකල් පැදගෙන ඒමට ඔවුන්ට දැනුම් දීමයි. මෙවැනිම තවත් ප්‍රායෝගික නොවන යෝජනා කීපයක් ඉදිරිපත් උනත් අවසානයේ ඇමරිකන් CIA නිලධාරී "ටෝනි මෙන්ඩේස්" විසින් වෙනස්ම විදියේ සැළසුමක් ඉදිරිපත් කරනවා.

එහි පළමු පියවර උනේ මේ හය දෙනාට කැනේඩියන් අනන්‍යතාවයන් (ගමන් බලපත්‍ර, වීසා ඇතුළු) සාදා දී ඔවුන් කැනේඩියන් වැසියන් බවට පත් කිරීම. කැනේඩියන් වැසියන්ට ඉරාන ගුවන් තොටුපලේදී ප්‍රශ්න ඇති වීමේ ප්‍රවණතාව ඉතාමත් අඩුයි. ඇමරිකානුවන් සහ කැනේඩියානුවන් බොහෝ දුරට සමාන බවක් උසුලන නිසා මෙය ඉතාමත් ප්‍රායෝගිකද උනා. මේ කාර්යය ඉතාමත් පහසු උනේ ඔවුන්ට කැනඩා රජයේ අනුග්‍රහය නොමදව ලැබුණු නිසා. එහෙත් ප්‍රශ්නය එතනින් කෙලවර උනේ නැහැ. කැනේඩියානුවන් සය දෙනෙකුට උනත් ඉරානයට පැමිණීමට පිළිගත හේතුවක් තිබිය යුතුයි. ඔවුන් පිටව යන අවස්ථාවේදී ඔවුන් මෙහි පැමිණි කාරණය ගැන ප්‍රශ්න කරනු නියතයි. එම ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ නොදුන්නොත් ඔවුන්ට නිසැකවම සිදු වන්නේ මරු වැළඳ ගැනීමටයි.

මේ රඟ දැක්වීම සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් උනා. ඉන් එකක් තමයි ඔවුන්ව ජාත්‍යන්තර පාසල්වල ගුරුවරු ලෙස හඳුන්වා දීම. එහෙත් සියලුම ඉංග්‍රීසි පාසල් වසා දමා තිබූ නිසා එය ප්‍රායෝගික උනේ නැහැ. තවත් යෝජනාවක් තමයි කෘෂි කාර්මික පරීක්ෂකවරුන් ලෙස රඟපෑම. ඒත් ඒ 1980 ජනවාරියෙදී ඉරානයට හිම සහිත සීත කාලය ලබා තිබූ බැවින් කෘෂිකාර්මික කටයුතු ගැන කතා කිරීම විහිළුවක් උනා. මේ යෝජනාවලට විරුද්ධ උන ටෝනි මෙන්ඩේස් සතියක්ම කල්පනා කරලා ඉතා නිවැරදි, ප්‍රායෝගික සැළසුමක් ඉදිරිපත් කළා. ඒ තමයි ව්‍යාජ හොලිවුඩ් චිත්‍රපටයක් ඉරානයේ රූ ගත කිරීම සඳහා ස්ථාන පරික්ෂාවකට ගිය චිත්‍රපට කණ්ඩායමක් මෙන් රඟපෑම.

ටෝනි මෙන්ඩේස් මෙය කොයි තරම් නිවැරදිව සැලසුම් කරාද කිව්වොත් දවස් හතරක් ඇතුලත ඔහු සමත් උනා ව්‍යාජ හොලිවුඩ් නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කර සිර වී සිටින ඇමරිකානුවන් හය දෙනාටම එහි නොයෙක් තනතුරු අනුයුක්ත කර (තිර රචක, අධ්‍යක්ෂක, දෙබස් රචක ආදී ) බිස්නස් කාඩ් පත් මුද්‍රණය කරන්නත්, චිත්‍රපටය සඳහා කතාවක් සොයාගෙන නියම ආකාරයෙන් තිර රචනයක් සකසන්නත්. මේ සඳහා ඔහුට හොලිවුඩයේ සිටි ඔහුගේ මිතුරු සබඳතා ("ජෝන් චේම්බර් සහ බොබ් සයිඩෙල්") බෙහෙවින් උපකාරී උනා. පිට සක්වල සහ අනාගත ජීවින් තේමාව කරගත් මේ ව්‍යාජ චිත්‍රපටයේ නම උනේ,

"ආ(ර්)ගෝ - Argo"



මේ චිත්‍රපට ආයතනය ගැන ඉරානයෙන් සොයා බැලීමක් කළොත් කිසිම සැකයක් ඇති නොවන ආකාරයට ලිපින, දුරකථන අංක ඇතුළුව සියළු දේ සැබෑ ආයතනයක ආකාරයට ස්ථාපිත කරන්න ඔවුන් වග බලා ගත්තා.ආයතනයේ දොරේ "studio six productions" නමින් පුවරුවකුත් එල්ලුවා. "six" කියන වචනය ඒ කටයුත්තට හරියටම ගැලපුනා :). ඒ විතරක් නෙමෙයි චිත්‍රපටය සඳහා පෝස්ටර් නිර්මාණය කර මසකට සරිලන රූ ගත කිරීම් සඳහා තිර සැකසුමක්ද ලියනු ලැබුවා.  

                                                            ~~~~~~~~~~~~

කිසිමඅඩුවක් නොවන ආකාරයට සියළු දේ ස්ථාපිත කළ ටෝනි, 1980 ජනවාරි 25 වන දින යුරෝපය හරහා ඉරානය බලා දෛවෝපගත ගමනක් අරඹනවා. ඔහු කැනේඩියන් පුරවැසියෙකු ලෙස "කෙවින්" නම් අන්වර්ථ නමක් අරගන්නවා. ඉරාන වීසා ලබා ගන්නේ ජර්මනියේදී. ඉරානයේ ගුවන් තොටුපළට ගොඩ බැසි ටෝනිට දකින්න ලැබුනේ බිහිසුණු කැරලි කරුවන් විසින් ගුවන් තොටුපළ අත්පත් කරගෙන තිබුණු ආකාරය. හැමදේම සිදු උනේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ. සියුම් හිරියක් තමන්ගේ කොඳු නාරටිය දිගේ ඉහළට යනු දැනුනත් හැකි තරම් සන්සුන්ව තුවක්කු අතින්ගත් කැරලි කරුවන් අතරින් ඉදිරියට ඇදී කැනේඩියන් තානාපති කෙන් ටේලර් හමු වෙනවා. ටෝනි, කලින්ම ඔහුගේ මෙවලම් මල්ල ටේලර් වෙත තැපැල් මගින් එවා තිබුණා. එහි තිබුනේ මොනවද? දක්ෂ බුද්ධි නිලධාරියෙකුට හැඟෙන පරිදි අවශ්‍ය වෙන හැම පුංචි මෙවලමක්ම.

ව්‍යාජ කැනේඩියානු සෞක්‍ය / රියදුරු බලපත්‍ර 
කැනේඩියානුවන් ඇඳුමට සවි කරන මේපල් කොළ ලාංඡන 
කැනඩාවේ ටොරන්ටෝ හි ආපන ශාලා වලින් ආහාර ගත් බව සනාථ කරන බිල් පත්
Studio Six බිස්නස් කාඩ්ස්
චිත්‍රපට රූ ගත කරන කැමරා කාච
ආ(ර්)ගෝ චිත්‍රපටයේ තිර සටහන්, පෝස්ටර් සහ අනෙකුත් දේ
ඇමරිකානුවන් 6 දෙනා සඳහා තැනූ කැනේඩියන් ගමන් බලපත්‍ර



ටේලර් ගේ තානාපති කාර්යාලයේදී ඔහුව හමු වන ටෝනි, ගමන් බලපත්‍ර හයට ඉරාන වීසා ප්‍රින්ට් කර ගන්නේ ටේලර්ගේ උදව්වෙන්. පසුව එහි දින සටහන් යොදනවා ඔවුන් රටට ඇතුල් උනේ ටෝනි පැමිණි දිනයේම බව ඒත්තු ගැන්වීම සඳහා.

මේ සියල්ල මෙසේ සූදානම් කළත් එකම පරහක් ඉතිරි වෙනවා. ඉරානයට ගොඩ බසින්නෙකුට සුදු සහ කහ පැහැයෙන් ෆෝරම දෙකක් ලැබෙනවා පිරවීම සඳහා. සුදු පිටපත ඔවුන් භාරයේ තබා ගන්නා අතර කහ පිටපත මගියාට දෙනවා. නැවත ඔහු පිටව යන දිනක මගියා ළඟ ඇති කහ පිටපතත් ආගමන විගමන නිලධාරීන් ළඟ ඇති සුදු පිටපතත් සැසඳීමක් කෙරෙනවා. මේ ඇමරිකානුවන් 6 දෙනාට කහ පිටපත් 6 ටෝනි සහ ටේලර් එකතු වී සකස් කළත් ඒවාට අදාළ සුදු පිටපත් ඉරාන නිලධාරීන් ළඟ නැහැ. ඒ නිසා ඔවුන් පිටව යද්දී පිටපත් සැසඳීමක් කළොත් ප්‍රශ්නයක් ඇති වීම නිසැකයි. මෙවන් අවස්ථාවලදී වාසනාව උරගා බලනු හැර වෙනත් විසඳුමක් බුද්ධි නිළධාරීන් සතුවත් නැහැ. අනෙක් සියළු දේ නිවැරදි නිසා සුදු පිටපත් ගුවන් තොටුපලේ නිලධාරීන් අතින් අස්ථානගත වී ඇති බව ඒත්තු ගැන්වීමයි කළ හැකි එකම පිළියම.

මේ සියල්ල සකසාගෙන එදින රාත්‍රී භෝජනයේදී ටේලර් විසින් ඇමරිකානුවන් සය දෙනාට ටෝනිව හඳුන්වා දෙනු ලබනවා. ටෝනි තමාගේ සැළසුම ඔවුන්ට පැහැදිලි කළ පසු මුලින් ඔවුන් එයට අදිමදි කළත් පසුව එකඟ වෙනවා.

මේ අතර ඔවුන්ගේ Studio Six ආයතනයේ සිටි ජෝන් සහ බොබ් ට වැඩ අධික කාලයක් උදා වී තිබුණා. ඔවුන්ට ලබා දී තිබුණු දුරකථන වලින් දෙකක් විනාඩියක් පාසා නාද වෙමින් තිබුණා. ඒ පත්තර/සඟරා කරුවන්ගෙන් සහ චිත්‍රපටවල රැකියා සොයන්නන්ගෙන්. කොයි මොහොතක හෝ එම ඇමතුම් වලින් එකක් ඉරානයෙන් විය හැකි බැවින් ඔවුන් මහන්සි නොබලා එම ඇමතුම් වලට පිළිතුරු දෙමින් සිටියා. එම දුරකථන දෙකේ අංක පමණයි ප්‍රසිද්ධ කර තිබුනේ. ඉතිරි දුරකථනය ඔවුන්ට සහ CIA ආයතනයට පමණක් විශේෂ වූ රහසිගත එකක්. වැරදිලාවත් එය නාද උනොත් එහි තේරුම ටෝනි ඇතුළු පිරිස විශාල කරදරයකට මුහුණ පා ඇති බව හෝ ඔවුන් යහතින් ඇමරිකාවට පැමිණ ඇති බව වග ඔවුන් දැන සිටියා. එනිසා ඔවුන් ඒ දුරකථනය දෙස බැලුවේ විස්තර කළ නොහැකි නොඉවසිල්ලකින්.

1980 ජනවාරි 28 වන දින උදෑසන ටෝනි සහ ඇමරිකානුවන් 6 දෙනා "මෙහ්රාබාද්" ගුවන් තොට වෙත යාම සඳහා සැරසී සිටියා. සැළකිය යුතු වෙස් වලා ගැනීමක් නොකළ ඔවුන් කොන්ඩ මෝස්‌තර, රැවුල් පමණක් වෙනස් කරගෙන තිබුණා. ටෝනි අන් අයට පෙර ගුවන් තොටුපළ වෙත ලඟා වී අනතුරක සේයාවක් ඇත්දැයි විමිසිලිමත් වෙමින් සියලු ආරක්ෂක කපොළු ගැන පරීක්ෂාවෙන් සිටියා. මේ අතර වෑන් රථයකින් ගුවන් තොට වෙත පිටත් වූ "සය දෙනා" රථය තුලදී තමන්ගේ අන්වර්ථ නම්, ගම් සියල්ල කටපාඩම් කරමින් තම දේශය බලා ඉගිලී යාමට හැකි පමණ සූදානම් වෙමින් සිටියා.

ටෝනි ඔවුන්ගේ පිටත් වීම සඳහා තෝරා ගෙන තිබුනේ මෙහ්රාබාද් ගුවන් තොටුපළ කලබලකාරී නොවන උදෑසන වෙලාවක්. මේ නිසා ඒ වෙලාවට එහි කටයුතු වලට ඇඟිලි ගැසීමට එතරම්කැරලි කරුවන් පැමිණෙන්නේ නැහැ. අවසානයේ ටෝනි ගේ සංඥාවකට අනුව අපේ චිත්‍රපට කණ්ඩායම ගැහෙන පා වලින් ගුවන් තොටුපලට ඇතුළු වෙනවා. අවුරුද්දකට වැඩි කාලයක්ම ඔවුන් වාසස්ථානයෙන් එලියට පය තියා තිබුනේ නැහැ. ඒ වගේම ඔවුන් හඳුනා ගනීවිද යන සැකය නිතරම සිතට වද දුන් කාරනාවක් උනා.




"ස්විස් එයාර්" කවුන්ටරයෙන් ගමන් මළු බාර දීම කරදරයක් නැතුව සිදු උනත් විගමන නිලධාරියා ඔවුන්ගේ ගමන් බලපත්‍ර රැගෙන ඉවතට යාම නිසා දියෙන් ගොඩ දැමූ මාළුන් මෙන් ගැහෙමින් ඔවුන් බලා සිටියේ ඔහු නැවත පැමිණෙන්නේ මරණය අතැතිව විය හැකි බැවිනි. එහෙත් තේ කෝප්පයක්ද රැගෙන නැවත පැමිණි නිලධාරියා ඔවුන්ට පිටත් වීමේ වේදිකාවට යන ලෙස සන් කළේය. ඔහු කහ සහ සුදු පිටපත් පරීක්‍ෂා කිරීමක් කර තිබුනේ නැහැ. දෙවියන්ට ස්තුති කරමින් ඒ ස්ථානය පියමන් කළ කණ්ඩායම ගුවන්යානයට ගොඩ වැදීමට බලා සිටියේ බිමට නවා ගත් හිසින් යුතුව.

මේ වන විට කැරලි කාර භටයින් ගුවන් තොටට පැමිණීමට පටන් ගෙන තිබූ නිසා ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩියෙන් විනාඩිය පමා වෙද්දී ඔවුන්ගේ හද ගැස්ම ඊට සමානුපාතිකව ඉහළ යනු දැනුනා. ටෝනි විසින් ප්‍රමාදය ගැන විමසීමක් කළ අතර එය ඉක්මනින්ම ගමනට සූදානම් කරන බව දැනගන්නට ලැබුණා. කල්පයක් සේ දැනුනු විනාඩි කිහිපයකට පසු ඔවුන්ගේ ගැලවුම්කාර කුරුල්ලා වූ ස්විස් 363 යානයට ගොඩ වීමට ඔවුන්ට වරම් ලැබුණා. ගුවන් යානයේ ඉදිරිපස "ආර්ගවු" යන වචනය ලියා තිබෙනු දුටු ඇන්ඩර්ස්, ටෝනි ගේ අත කොනිත්තා මෙසේ ඇසුවේය

"You guys arrange everything, don’t you?"

ටෝනි ගේ මුහුණට නැගුනේ සිනහවකි.

ආර්ගවු යනු ඒ ස්විස් ගුවන් යානය උපත ලද ප්‍රදේශයේ නමයි. එය "ආර්ගෝ" යන නමට සමාන වීම දෛවෝපගත සිදු වීමක් ලෙස ඔවුන් දිටීය.

යානය රෝද හකුලා ඉරාන පොළවෙන් ඉහළට නගිද්දී වෙන කවරදාකවත් නොදැනුනු තරමේ ආත්ම තෘප්තියකින් එළිය වුනු ටෝනි ගේ මුහුණේ ලාවට සිනහවක් ඇඳි තිබෙනු කිසිවෙකු දුටුවේ නැත. ඉරාන දේශ සීමාවෙන් එළියට පැමිණි යානයේ මත් පැන් හල විවෘත කළ පසු තම පසු පසින් අසුන් ගෙන සිටි කණ්ඩායම වෙත මධු විතක් ඉහළට එසවූ ටෝනි සව්දිය පිරුවේ හදවතින්මය...

"We’re home free..."

තවත් පැය කිහිපයකට පසුව Studio Six ආයතනයේ තුන්වන දුරකථනය හැඬවිනි. ඒ එය ලැබූ පළමු සහ අවසාන ඇමතුමයි..

"It’s over, They made it out."

                                                     ~~~~~~~~~~~~~~~~

ඇමරිකන් තානාපති සේවකයින් සය දෙනා ගලවා ගැනීම සඳහා තම දිවි පරදුවට තබා කටයුතු කළ ටෝනි මෙන්ඩේස් ට "ඉන්ටෙලිජන්ට් ස්ටාර්" සම්මානය ලබා දුන්නේද රහසේමයි. මෙහෙයුම පිලිබඳ තොරතුරු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් 1997 දී අනාවරණය කරන තුරු මේ සම්මානයද රහසක්ව පැවතුණා. සම්මානය ලොවට ප්‍රදර්ශනය කිරීමට වඩා බුද්ධි නිලධාරියෙකුට තම ආත්ම තෘප්තිය වැදගත් වනු ඇත.

                                                                    ටෝනි වර්තමානයේ 

මෙහෙයුමත් සමගම අතුරුදන් වී ගිය "ආ(ර්)ගෝ" චිත්‍රපටය, වසර 32 කට පසු 2012 දී රිදී තිරයට පැමිණ ඇත. එහෙත් එහි අඩංගු වන්නේ පිට සක්වල සම්බන්ධ කතා පුවතක් නොවේ. බෙන් ඇෆ්ලෙක් විසින් නිෂ්පාදිත ආ(ර්)ගෝ චිත්‍රපටයේ දිග හැරෙන්නේ, ටෝනි ගේ "සය දෙනා ගලවා ගැනීමේ රහස් මෙහෙයුම" සම්බන්ධ කතා පුවතයි. කෙසේ හෝ අවසානයේ, ආ(ර්)ගෝ කරලියට පැමිණ ඇත.


ප. ලි - ස්තුතිය...බලෙන්ම මට ආ(ර්)ගෝ පෙන්නවූ සයුරු ට. එය පසු පස ඇති සැබෑ කතාව සොයා ලිපියක් ලිවිම සිතුනේ එය ඒ තරම් සිත් ගන්නා සුළු චිත්‍රපටයක් වූ නිසයි. ( නාට්‍ය රසය සහ ත්‍රාසය දැනවීම සඳහා ඇත්ත කතාවේ නොමැති සිදු වීම් කිහිපයක් චිත්‍රපටයට එක් වී  තිබුනත් එයද අනර්ඝ ආකාරයේ නිර්මාණයක් බව නොකියාම බැරිය).


Tuesday, November 20, 2012

Almost Heaven...




















West Virginia .......Blue ridge mountains.....















Shenandoah river.....


















Life is old there....

Older than the trees.....

Younger than the mountains.....

blowin' like a breeze..



එක්තරා කාලෙකදි බොහොම ජනප්‍රිය වෙච්ච ගීතයක් නේ "ජෝන් ඩෙන්වර්" ගේ "Country roads" කියන සින්දුව. දැනට උනත් ඒකෙ අඩුවක් නෑ මම හිතන්නේ. මමනම් තවමත් ගොඩක් ප්‍රිය කරන ගීතයක් මේක.


Powered by mp3ye.eu

ඉස්සර මේක අහද්දී මට හිතුනෙම මේ කියන වෙස්ට් වර්ජිනියා වලට ගිහිං එන්න ඇත්නම් කියලා. ගිය අවුරුද්දේ දවසක ඔන්න ඒ ආසාව හැබෑ උනා.

ඇමරිකාව කිව්වම කාටත් මතක් වෙන අහස සූරන මැදුරු, පළල් පාරවල් වල  පණ කඩාගෙන දුවන වාහන, තද බද වෙච්ච නගර, වලින් සම්පූර්ණයෙන්ම තොර වෙච්ච පැත්තක් තමයි වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තය. වෙස්ට් වර්ජිනියාවේ වංගු ගැහිච්ච පටු තාර පාරවල් දිගේ යද්දී මට දැනුනේ කාලයෙන් අවුරුදු 100 ක් විතර ආපස්සට ගියා කියලා.

Country roads...Take me home...

To the place...I belong....





















මේ පින්තුරේ මගේ උනාට උඩ පින්තුර ටික මගේ නෙමෙයි. (පේනවනේ කැමරා කොලිටියේ වෙනස :) මේකම තැඹිලි පාටින් බලාගන්න තිබුණා සරත් කාලෙදි ගියානම්.

උඩම එකේ තියන පාලම තමයි "New river Gorge bridge" කියන්නේ. ඒක හදන්න කලින් ඔය කඳු ගැට දෙක අතර මාරු වෙන්න පහළ නිම්නයෙන් තමයිලු යන්න උනේ. පාලම නිසා ගමනේ දුර පැයකින් කෙටි වෙලා. අපි ඔය පාලම උඩින් ගිහිං මදි වෙලා යටිනුත් ගියා. මේ තියෙන්නේ පින්තූර.




















Dark and dusty...painted on the sky...

Misty taste of moonshine...teardrops in my eyes...


















මේ ප්‍රදේශයේ නවාතැන් ගන්න කැමති අයට කැලෑ ඇතුලට වෙන්න හදපු කැබින්ස් (ලී වලින් හදපු ගෙවල්) තියනවා. තරමක් ලොකු කණ්ඩායමකටනම් ඒ ක්‍රමේ ගොඩක් ලාබයි වගේම පහසුයි. ඒ වගේම වෙස්ට් වර්ජිනියා ප්‍රදේශය කළු වලසුන්ට ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රදේශයක් නිසා රාත්‍රී කාලයේදී එලි පහළියේ ඇවිදින එකනම් ටිකක් අවදානම්. ඒත් අපිටනම් වලහෙක් දැකගන්න ලැබුනේ නැහැ. අපරාදේ කියලත් හිතුනා :)

පලා පාට ගස් වලින් වැහිච්ච කඳු පන්ති, නිම්න මැදින් පහත් උන වලාකුළු තට්ටු, ඊට පහළින් සර්පයෝ වගේ ගලන ගංගා වලින් පිරුණු මේ ප්‍රදේශය ඇත්තටම දෙව්ලොවක් වගේ කිව්වට වරදක් නෑ.
බාහිර ලෝකයෙන් වෙන් වෙලා ලස්සන නිස්කලංක පරිසරේක ටික දවසකට තනි වෙන්න කැමතිනම් මේක කියාපු තැනක්...

වැලි පතුල පේන තරමට දිළිසෙන පළිගු දිය ගලා යන, නොගැඹුරු ගංගාවක් අයිනේ ගලක් උඩ ඉඳගෙන දිය පාරට අහු වෙලා ගල් පොත්තෙන් පහළට වැටෙන තැඹිලි පාට මේපල් කොල දිහා බලාගෙන ඉන්න අකමැති කෙනෙක් ඉන්නවද?

















Drivin' down the road I get a feelin'...that I should've been home yesterday...Yesterday....

                       ~~~~~~~~~~



ප. ලි.  පින්තූර කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි. සින්දුව ඔටෝ ප්ලේ වෙන එක දවස් දෙක තුනකින් අයින් කරන්නම්. :) 
ඔන්න අපි වගේ මල්ලිගේ ඉල්ලීම ඉෂ්ට කරා...


Wednesday, November 14, 2012

විරසක වූ දෙසොහොයුරෝ - රාජාවලිය XXIV



කට්ටියට මතක ඇතිනේ අපි ගිය පාර ලිපිය අවසන් කරේ මිහිඳු රජතුමා මිය ගිය තැනින් (ක්‍රි.ව. 741 දී). එතුමා මිය යන්න කලින් ඔහුගේ පුතා වන අග්බෝ කුමාරයාට ලංකාවේ දකුණු ප්‍රදේශයේ පාලන කටයුතු පවරලා තිබුණා. යුව රජ පදවියට පත් කරලා තිබුනේ තුන්වන කාශ්‍යප රජතුමාගේ (තමන්ගේ අයියාගේ) පුතා. ඔහුගේ නමත් අග්බෝ. ඔහුට පැවරුවේ නැගෙනහිර ප්‍රදේශයේ පාලනය. මේ කුමාරවරු දෙන්නටම මිහිඳු රජතුමා වෙනසක් නැතිව සැලකුවා ලු.

මිහිඳු රජතුමා මිය යන වෙලාවේ ළඟ ඉඳලා තියෙන්නේ ඔහුගේම පුතා. ඒ නිසා ඉන් පස්සේ රජකම ලැබිලා තියෙන්නේ ඒ කුමාරයාට. ඒත් ඔහු කල්පනා කළා ලු 

"හරි විදිහටනම් රජකම ලැබෙන්න ඕනේ යුව රජතුමා ට. ඒ නිසා ඔහුට රජකම බාර දිය යුතුයි" කියලා. 

ඉතින් මේ කුමාරයා කිසිම ලෝබ කමක් නැතුව යුව රජ වෙච්ච තමන්ගේ ඥාති සහෝදරයට රජකම පවරලා දුන්නලු. ඔහු "අග්බෝ VI" (ක්‍රි. ව. 741 - 781) නමින් රජ වෙලා තමන්ට රජ කම බාර දීපු කුමාරයව යුව රජ බවට පත් කළා. එහෙම කරලා දෙන්නත් එක්ක ඉතාමත් සමගියෙන් රට පාලනය කරගෙන ඉන්න අතරෙදි තමයි මේ සමගි හවුලට නොහිතපු විදියේ හෙනයක් කඩා පාත් වෙන්නේ. 

තමන්ගේ පැවැත්මට පහරක් වදිනවනම් ඒක නවත්තන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති මිනිස්සු එදත් ඉඳල තියනවා. රජුත් යුවරජුත් සාමයෙන් අරගෙන ගිය පාලනය පහරක් උනේ දාමරිකයින්ට. මේ නිසා ඔවුන් මොකද කළේ, කේලම් කියලා දෙසොහොයුරන් කෙටවීම. මේ කෙටවීම ඉතාමත් සාර්ථක උන හින්දා අන්තිමට ඒක නතර උනේ යුද්ධයකින්. ඒ යුද්ධයෙන් යුව රජ පැරදුනා. යුව රජ පැරදිලා පලා යන අතරේ රජතුමා හිතනවා මෙහෙම,

"තමන්ට ලැබුණු රජකම කිසිම ලෝබ කමක් නැතුව මට පවරපු මගේම සොහොයුරා නේද මා පළවා හැරියේ" කියලා. එහෙම හිතලා නැවතත් යුව රජ කැඳවලා වෙනදා වගේම සාමයෙන් රාජ්‍ය කටයුතු කරන්න පටන් ගන්නවා. මේ විදියට අවු. 40 ක් රජකම් කරපු හයවන අග්බෝ රජතුමා ක්‍රි. ව. 781 දී මිය ගියාම යුව රජතුමාට රජකම ලැබෙනවා. ඔහු "අග්බෝ VII" (ක්‍රි. ව. 781 - 787) නමින් රජ වෙනවා. ඔහු තමන්ගේ පුතාව යුව රජ තනතුරට පත් කළත් ඒ කුමාරයා අකාලයේ මිය යනවා. හේතුව පැහැදිළි නැහැ. 

තමන්ගේ පුත්‍රයා නැති වූ ශෝකයෙන් කල් ගෙවමින් සිටි හත්වන අග්බෝ රජතුමාත් ඉක්මනින්ම මිය පරලොව යනවා. මේ වෙද්දී මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු භාරව ඉන්නේ හයවන අග්බෝ රජුගේ පුත් "සෙන්පති මිහිඳු" කුමාරයා. ඉන්දියාවෙන් පැමිණිය හැකි සතුරු කරදර ගැන බියක් තිබූ නිසා මන්නාරම සිට රැකවල් කටයුතු කළා කියලයි කියන්නේ. ඉතින් රජතුමාගේ මරණයෙන් පස්සේ මිහිඳු කුමාරයා අග නුවරට ඇවිත් රජුගේ මෙහෙසියට පාලන කටයුතු බාර දීලා නැවතත් මන්නාරමට යනවා. බලයට ලෝබ කරපු මෙහෙසිය මිහිඳු කුමාරයා මරවන්න තැත් කරන අතරෙදි ඒක ආරංචි වෙන මිහිඳු කුමාරයා මෙහෙසිය හිර බාරයට ගන්නවා. 

ඔය අතරෙදි මිහිඳු කුමාරයාට දෙපැත්තකින්ම සතුරු කරදර එනවා. උතුරේ කැරළිකාර දෙමළුන් මධ්‍යම පාලනයට විරුද්ධ වී කැරළි ගැසීම නිසා ඒවා මර්ධනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම හයවන අග්බෝ රජතුමාගේ බෑනා කෙනෙක් වන "දප්පුල" කියලා කුමාරයෙක් බලය අල්ලා ගැනීම සඳහා රජුට විරුද්ධව සටනට එනවා. පළමු වතාවේ පැරදිලා පළා ගිහින් දෙවැනි වතාවට රුහුණෙන් සහ මලය රටින් සෙබළුන් එකතු කරගෙන ආපු දප්පුලගේ සේනාව අති මහත් උනත් අනපේක්‍ෂිත වෙලාවක (හිරු නැගීමට පෙර ) ඔවුන්ට පහර දීපු නිසා මිහිඳු කුමාරයා ජයග්‍රහණය කරනවා. 

ඒ ජයග්‍රහණයෙන් පස්සේ ඔහු "මිහිඳු II" (ක්‍රි. ව. 787 - 807) නමින් රජ වෙනවා. ඒ වගේම හිර බාරයට ගතිපු රජ මෙහෙසිය තමන්ගේ මෙහෙසිය කරගන්නවා. උණු හින්දා බොන්නත් කිරි හින්දා විසි කරන්නත් බැරිනම් නිවෙනකම් ළඟ තියාගන්න එකනේ කරන්න වෙන්නේ  :) මේ දෙන්නට ලැබුන පුතාට යුව රජකම පැවරුවත් ඒකට ලොකු විරෝධතාවක් එල්ල වෙලවා අර කලින් පැරදිලා පලා ගියපු දප්පුලගෙනුත් ඔහුගේ සොහොයුරන්ගෙනුත්. මේ හින්දා නැවතත් යුද්ධයක් ඇති වෙනවා "කොවිලාර" නම් ස්ථානයේදී. ඒ සටනිනුත් මිහිඳු රජතුමා ජය ගන්නවා. ඒත් දප්පුල මොකද කරන්නේ, එතනින් පළා ගිහින් නැවතත් සේනාව රැස් කරන්න පටන් ගන්න එක.

මේ විදියට නොනැවතී සිද්ධ වෙන සටන් නිසා රටට වෙන අයහපත ගැන කල්පනා කරපු මිහිඳු රජතුමා රාජ සභිකයන් සහ භික්ෂුන් ථූපාරාමයට කැඳවලා තමන්ගේ සැළසුම ගැන දැනුම් දීලා සේනාවත් අරගෙන රුහුණට පිටත් වෙනවා. මෙයින් බිය ගන්නා දප්පුල රජුත් සමග ගිවිසුමකට එනවා. ඒ අනුව රුහුණේ පාලනය දප්පුලට හිමි වෙනවා. ඉන් පස්සෙනම් දප්පුලගේ කෙනෙහිලි නැවතුනාලු.

මේ අතරේ රජතුමාගේ පුත්‍රයා (යුව රජ) මිය යන නිසා රජතුමා ඉතාමත් කණගාටුවට පත් වෙනවා. අනාගත රාජ්‍ය උරුමක්කාරයෙකුත් නැති වෙනවා මේ නිසා. හැබැයි අපි නොදන්න රහසකුත් තියනවා. ඒක මොකද්ද කියලා අපි ඊ ළඟ ලිපියෙදි බලමු :)

Saturday, November 10, 2012

ඇපල් කේක්

පහුගිය දවස්වල ලිහිණි හෝ ගාලා කෑම වර්ග හදන හැටි දැම්මනේ බ්ලොග් එකේ. ඉතින් මටත් හිතුනා මොකක්හරි කෑමක් හදන හැටි කියල දෙන්න.

 ඇපල් කේක් හදන්න හරිම ලේසියි. මේ ලඟදි දවසක ඕක හදපු වෙලාවක ෆොටෝස් ටිකක් ගත්තා බ්ලොග් එකේ දාන්න හිතාගෙන. ඒත් ලියන්න කල් ගියා. ඔන්න යන්තම් අද ලියා ගත්තා.

 අවශ්‍ය ද්‍රව්‍ය :

 සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩි දෙකක්
 බටර්/මාගරින් ග්‍රෑම් 200 ක්
 දුඹුරු සීනි ග්‍රෑම් 150 ක්
 සුදු සීනි ග්‍රෑම් 250 ක්
 පිටි ග්‍රෑම් 250 ක්
 බිත්තර 2 ක්
 දොඩම් ගෙඩියක්
කිරි අවශ්‍ය පමණට
 ලුණු ස්වල්පයක්
 බේකින් සෝඩා
කුරුඳු කුඩු (කැමතිනම් පමණක්)
වැනිලා
 නට් මෙග් (මේක ලංකාවේ මම දැකලා නැති උනත් තියෙන්න ඕන. ඒ කාලේ මම ඔය උයන පිහන බඩු ගැන දන්නේ නැහැනේ. ඒත් මේක නැතත් අවුලක් නැහැ). නට්මෙග් එකක් මෙන්න මේ වගේ. .


 මේ ද්‍රව්‍ය ටික කිව්වේ අඟල් 8 x 8 කේක් පෑන් එකකට ඇති වෙන විදියට.

 මෙන්න මෙහෙමයි හදන්නේ -

 මුලින්ම අවන් එක ෆැරන්හයිට් 325 ට රත් වෙන්න දාන්න ඕනේ. සෙල්සියස් නම් 160 වගේ. ඇපල් පොතු ඇරලා (පීලරයක් ගත්තොත් ලේසියි) කැමති විදියට කෑලි කපා ගන්න. මමනම් කැපුවේ මේ විදියට. ඇපල් කෑලි වලට දෙහි යුෂ ටිකක් එකතු කරන්නත් අමතක කරන්න එපා. නැත්නම් කහට පිපෙනවා.


කේක් පෑන් එක පතුලට තෙල් කොලයක් දාලා වටේටත් තෙල්/බටර් ආලේප කරන්න.

 සාස්‌පානක් ලිපේ තියලා අර බටර්වලින් 1/3 ක් ඒකට දාලා රත් කරන්න. බටර් ටික දිය උනාම දුඹුරු සීනි ටික දාලා කවලම් කරන්න. ඒකත් දිය උනාම පෑන් එකට ඒ ටික වක්කරලා මේ විදියට හදන්න.


 ඊට පස්සේ ඒක උඩින කපපු ඇපල් කෑලි ටික අතුරලා මේ විදියට සකසා ගන්න.


 දැන් පිටි ටිකට ලුණු, කුරුඳු කුඩු, බේකින් සෝදා දාලා මිශ්‍ර කරලා ඒක පැත්තකින් තියන්න. ඉන් පස්සේ අර ඉතිරි බටර් ටිකට සුදු සීනි ටික එකතු කරලා හොඳට බීට් කරගන්න. ටික වෙලාවකින් බිත්තර දෙක සහ වැනිලා එකතු කරලා ආපහු බීට් කරන්න. දැන් මේ මිශ්‍රණයට අර දොඩමේ ලෙල්ල ග්‍රේටරයකින් ගාගෙන දොඩම් ලෙලි තේ හැන්දක් විතර එකතු කරන්න. මේකට හරි යන්නේ අර තැඹිලි පාට දොඩම් ගෙඩියක්. අනිත් ඒවායේ ලෙල්ල ගොඩක් පැඟිරි රසයි මම හිතන්නේ. දැන් නට්මෙග් ගෙඩියක් අරගෙන එකෙනුත් ඉතාමත් ස්වල්පයක් ග්‍රේටරෙන් ගාලා මිශ්‍රණයට එකතු කරන්න. දැන් පිටි මිශ්‍රනයෙනුත් කිරි වලිනුත් ටික ටික එකතු කරමින් තව දුරත් බීට් කරන්න. අන්තිමට මේ වගේ මිශ්‍රණයක් ඒවි.


 හරි දැන් තියෙන්නේ ඒක අර ඇපල් කෑලි ටික උඩට දාලා පැතලි කරගන්න එක. එච්චර තමයි ඉතින්. ඊට පස්සේ අවන් එකට දාලා විනාඩි 50 ක් විතර බේක් කරගන්න ඕන. කේක් එක බේක් උනාට පස්සේ පිහියක් අරගෙන කේක් එකේ පැති පෑන් එකට ඇලිලා තියනවනම් පිහිය ඒ අතරින් යවලා බුරුල් කරගන්න. ඉන් පස්සේ ලොකු පැතලි දීසියක් අරගෙන ඒක කේක් පෑන් එක උඩ තියලා මුනින් නවන්න. දැන් කේක් පෑන් එක උස්සලා අයින් කරන්න.

ඔය තියෙන්නේ එන්ඩ් ප්‍රොඩක්ට් එක :)


හදල බලන්නකෝ

Thursday, November 1, 2012

සැන්ඩි උපන් හැටි

ඔන්න එහෙනම් සැන්ඩිත් ඇවිත් ගියා. නිකන්ම නෙවෙයි, මහා විනාසෙකුත් කරගෙන. මේ හින්දා මිනිස් ජිවිත 100 කට ආසන්න ප්‍රමාණයක් විනාශ උනා. දේපළ හානිය කොයි තරම්ද කියලා මම දන්නේ නෑ. නිවාස මිලියන 6 කට විදුලි සැපයුම අහිමි වී දැනට දින 3 ක්. ඇතැම් පෙදෙස්  අඩි 2 ක පමණ හිමෙන් වැහිලා (අකාලයේ). අඩි 6 ක පමණ උසට නගර ජලයෙන් යට වෙලා. 

"Super storm" එකක් හැටියට හඳුන්වන "සැන්ඩි" කරපු දේවල්වලින් ටිකක් තමයි මේ. පින්තූර ගත්තේ අන්තර්ජාලයෙන්. ක්ලික් කරලා බලන්න.




පහන්යාය පටන් ගත්ත අලුතම මෙහෙ ආපු අයට මතකද දන්නේ නෑ කුණාටු වලට නම් දෙන හැටි ගැන ලියපු ලිපිය. කැමති අය ඉන්නවනම් ගිහින් බලල එන්නකො. එතකොට තේරේවි මෙයාට සැන්ඩි කියලා නම වැටුනේ කොහොමද කියලා. කවුරුහරි හිතාගෙන ඉන්නවනම් කුණාටු වලට දාන්නේ ගෑනු නම් විතරයි කියලා ඒක වැරදියි හොඳේ straight face. ඒකෙ කට්ටිය කමෙන්ට් කරලා තිබුණා ගෑනු නම් තියන කුණාටු වැඩියෙන් සැරයි කියලා. ඒකෙනම් ඉතින් ඇත්තක් තියනවදත් මන්දා. :)) කොහොම උනත් ඉතින් ලස්සන ක්‍රමේකට අනුව තමයි කුණාටු වලට නම් ලැබෙන්නේ. 

දැන් ඉතින් ඒ ගැන කිව්වා ඇති. 

ඔයාලට නිකමට හිතිලා තියනවද මොකද මේ කුණාටු මෙච්චරම ඇමරිකාව පස්සෙම පන්නන්නේ කියලා thinking. දැන් ඉතින් කියන්න එපා ඇමරිකාව කරන නොහොබිනා වැඩ හින්දා කියලා. හරි අපි බලමුකෝ. 

ඔය කියන විදියේ හරිකේන් එකක් ඇති වෙන්න අවශ්‍යතා කිහිපයක් තියනවා. 

1. අධික උෂ්ණත්වයක් 
2. මුහුදු කලාපයක් වැනි ජලය සහිත ප්‍රදේශයක්  
3. සුළං දහරා 

ඉතින් මේ කියන කරුණු තුන ගොඩක් වෙලාවට සම්පුර්ණ වෙන තැනක් තමයි ඝර්ම කලාපීය මුහුදු. බටහිර අප්‍රිකාව ආසන්නයේ මුහුද මේ සඳහා ගොඩක්ම යෝග්‍යයි. ගොඩක් වෙලාවට ඒ ආසන්නයෙන් තමයි කුණාටු හට ගන්නේ. ඒවා හඳ අල්ලපු රට පස්සෙන් එලවන්නේ මොකද කියලත් මම කියන්නම්. 


අධික උෂ්ණත්වය නිසා ජලය විශාල ප්‍රමාණයක් මුහුද මතුපිටින් වාෂ්ප වෙලා වාතය සමග ඉහළ නගිනවා (රත් වූ වාතය ඉහළ නගී කියලා කතාවක් අහල තියනවනේ). ඉතින් මුහුද ආසන්න වායු ගෝලයේ අව පීඩනයක් ඇති වෙනවා. ඒ අඩුව පුරවන්න අවට ප්‍රදේශ වලින් වාතය අර ස්ථානයට ඇදිලා එනවා. ඒ වාතයත් අර විදියටම රත් වෙලා ජල වාෂ්ප සහිතව ඉහළ නගිනවා, හරියට දුම් නලයක් දිගේ ඉහළ යනවා වගේ. ඉහළ වායු ගෝලයේදී මේ වාතය අර දුම් නලය වටා පැතිරෙනවා (මුළුතැන් ගෙයක චිමිනියෙන් දුම් විසිරෙන හැටි මතක් කරගන්න). මුහුද තමයි මේ වැඩේට උෂ්ණත්වය සහ තෙතමනය සපයන්නේ. ඔය විදියට ඉහළ නැගලා විසිරෙන වාතය ඝනීභවනය වෙලා වලාකුළු බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙන හින්දා අර වලාකුළු තට්ටුව නොනැවතී වර්ධනය වෙනවා.

මේ බලන්න හරිකේන් එකක් දිස් වෙන ආකාරය 


පේනවා නේද මැද තියන පොඩි රවුම. ඒකට කියන්නේ හරිකේන් එකේ "ඇහැ" කියලා. එතන තමයි අඩුම පීඩනයක් තියෙන්නේ. අර කියපු දුම් නලයේ මුදුන තමයි මේ ඇහැ. 

හරි, දැන් අපි දන්නවා කුණාටුවක් ඇති වෙන හැටි. එතකොට අර "සුළං දහරා" ඕන වෙන්නේ මොකටද? ඒවායින් තමයි කුණාටුවේ ගමන් මග තීරණය කරන්නේ. ගොඩක් වෙලාවට කුණාටු හටගන්නේ අප්‍රිකානු මුහුදෙන් කියලා දැන් අපි දන්නවනේ. ඒ ප්‍රදේශයේ "වෙළඳ සුළං" කියලා එකක් හමනවා ඔයාලා දන්නවද?

මේ තියෙන්නේ වෙළඳ සුළං හමන රටාව සහ දිශාව 


වෙළඳ සුළං ඇති වෙන්න බලපාන්නේ පෘතුවියේ බ්‍රමණය කියලා සමාජ අධ්‍යයනයට ඉගැන්නුවා සමහරුන්ට මතක ඇති (මටනම් ලාවට වගේ මතකයි :). 

ඉතින් ටාර්සන්ගේ රට (අප්‍රිකාව) ආසන්නයේ හටගන්න කුණාටුවක් වහාම හඳ අල්ලපු රට පැත්තට අරගෙන යන්න මේ සුළං සැදී පැහැදී ඉන්නවා. වෙළඳ සුළං හින්දා උතුරු ඇමරිකාවේ පහළ ප්‍රදේශ දිහාවට ඇදෙන සමහර කුණාටු එහිදී වෙළඳ සුළං බලපෑමෙන් මිදෙනවා. ඊට පස්සේ ඒකෙ ගමන් මග තීරණය කරන්නේ ප්‍රාදේශීය කාලගුණයට අදාළ සුළං මගින්. ඔන්න ඔහොමයි ඉතින් වෙන්නේ. 

එතකොට කුණාටුව, සුළියක් වගේ කැරකෙන්නේ ඇයි confused? ඒකට හේතුවත් අර වෙළඳ සුළං ඇති වෙන්න බලපාපු හේතුවම තමයි. පෘතුවියේ භ්‍රමණය. අවපාතය දිහාවට ගලාගෙන යන්න වාතය උත්සාහ කරන අස්සේ පෘතුවිය දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා. මේ නිසා උත්තර සහ දක්ෂිණ අර්ධ ගෝලවල එකිනෙකට විරුද්ධ දිශාවට සුළඟේ අපවර්තනයක් ඇති වෙනවා. මේකට කියන්නේ coriolis effect කියලා. ඒක හරියටම තේරුම් ගන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න ග්‍රමර්ෆෝන් එකක් කැරකෙනවා කියලා හිතන්න. කවුරු හරි ඒ තැටියේ මැදින් පටන් අරගෙන පහළට හුණු කූරකින් ඉරක් ඇන්දොත් ඇඳෙන ඉර කෙලින් එකක් නෙමෙයි, ඒක නවත්තලා බැලුවම වක්‍ර වෙච්ච ඉරක් තමයි පේන්න තියෙන්නේ. 

ඔය විදිහට උතුරු අර්ධගෝලයේ හමන සුළං දකුණු පැත්තට ඇල වෙලා ගමන් කරන බව ඔයාලට තේරෙනවා ඇති. ඉතින් අවපාතයේ පීඩනය අඩු ප්‍රදේශයට අවටින් සුළං හමා ගෙන එද්දී ඒවා මෙන්න මේ රූපයේ විදියට හැඩ ගැහිලා කුණාටුව වාමාවර්තව කැරකෙන්න ගන්නවා. 


ඒ වගේම, දක්ෂිනාර්ධ ගෝලයේ ඇති වෙන කුණාටු කැරකෙන්නේ දක්ෂිණාවර්තව. ඒක ආපහු පැහැදිළි කරන්න ඕන නෑ නේද. 

දැන් ඉතින් මේ විදියට භ්‍රමණය වෙමින් යන කුණාටුවක් නවතින්නේ කොහොමද? ආ ඒකට ඉතින් ගොඩබිමක් මුණ ගැහෙන්න වෙනවා. ගොඩ බිමකට ආවට පස්සේ කුණාටුව වර්ධනය වෙන්න ජල වාෂ්ප හොයාගන්න මුහුදක් නැහැනේ. ඒ නිසා තව දුරටත් ජල වාෂ්ප රත් වේවි ඉහළ යන්නේ නැහැ. ඉතින් ඒ පාර අර දැවැන්ත වලාකුළු සෙට් එක එකතු වෙලා දෙන්න පටන් ගන්නවා මදි නොකියන්නම වැස්ස, අකුණු ඊට පස්සේ ගංවතුර. ඒ මදිවට භ්‍රමණය වෙන අවපාතයෙන් ගස්, ගල්, ගෙවල් උගුල්ලලා අර ගන්නවා. අවපාතයේ ඇහැට අහු ඉනොත් ඉතින් සොරිම තමා hypnotized. එක අන්ශුවක්වත් ඉතුරු වෙන්නේ නෑ ඔන්න. ඔය වැඩ ටික කරලා ඉවර වෙනකොට තමයි කුණාටුවේ සැර බාල වෙලා හොඳ ළමයා වගේ යන්න යන්නේ. batting eyelashes

දැන් ඔයාලා දන්නවා නේද මේ හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට කුණාටු වලින් තියන කරදර. මේ ගොල්ලෝ සයිරන් සද්දයක් ඇහුනොත් බේස්මන්ට් වලට දුවන්න බලාගෙන ඉන්නේ. එහෙම ගිහින් දෙවියෝ සිහි කර කර ඉන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ praying. ඒ විදියේ ආරක්ෂිතව හදපු ස්ථාන වලට ගියොත්නම් ගොඩක් වෙලාවට මේවයින් බේරෙන්න පුළුවන්. එහෙම නැතුව නිකන්ම ගේ ඇතුලට වෙලා හිටියොත් ඉතින් ගේත් එක්කම අවපාතය දිගේ කැරකි කැරකි උඩට යන්නත් පුළුවන්. :) හැබැයි ආපහු බිමට වැටෙයිද කියලනම් මගෙන් අහන්න එපා. 


Saturday, October 27, 2012

උරුමය සොයා ගිය මානවම්ම - රාජාවලිය XXIII




අද අපිට පටන් ගන්න තියෙන්නේ දෙවන දාඨෝපතිස්ස රජතුමාගේ ලඟින්. මතකයි නේ...මෙයා තමයි ද්‍රවිඩයින් ගේ සහයෙන් දප්පුල රජතුමා පරදවලා රාජ්‍ය අරගත්තේ

මේ දෙවන දාඨෝපතිස්ස රජතුමා මහා විහාර සීමාවේම තවත් විහාරයක් කරවලා ඒක අහයගිරිය ට පූජා කරපු නිසා මහාවිහාරයේ භික්ෂුන් රජතුමා එක්ක විරසක වෙලා  රජතුමාගෙන් දානය බාර ගන්න එක නතර කළා ලු. ආදි කාලයේ මේ නීතිය පැනෙව්වම (පන්තානිකුජ්ජන කම්ම) පිඬු සිඟා විදින භික්ෂුවක් උනත් ඔහුගේ නිවස ළඟ නතර නොවී යනවා මිසක් ඔහුගෙන් දානයක් ගන්න හිතන්නෙවත් නැහැලු. ඒක ටිකක් අපහාසාත්මක දඬුවමක් වෙන්න ඕන. මේ වැඩෙන් උනේ රජතුමා මහාවිහාරයත් එක්ක තව තවත් හරහටම හිටපු එක.

ඉතින් මේ රජතුමා ක්‍රි. ව. 673 දී අභාවප්‍රාප්ත උනාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "හතරවන අග්බෝ" (ක්‍රි. ව. 673 - 689).  මේ රජතුමා ඉතාමත් කාරුණික දැහැමි රජ කෙනෙක්. නිතරම රට වැසියාගේ ඕන එපාකම් ගැන හොයලා බලලා ශාසනයටත් ලොකු අනුග්‍රහයක් දක්වලා තියනවා. දාඨෝපතිස්ස රජතුමාගෙන් උන වැරදි වෙනුවෙන් මහාවිහාරයෙන් සමාවත් ඉල්ලුවලු මෙතුමා. එහෙම කරලා හැම නිකායකම සංඝයා වහන්සේලාට අපක්ෂපාතීව සැළකුවා ලු.

මේ කාලේදී රජතුමාගේ ද්‍රවිඩ සෙන්පතියන් ඉඳල තියනවා සැළකිය යුතු බලතල ඇතුව. රජතුමාගේ හොඳ කම නිසාම ඔවුන් ඇතුළු රජ බිසව පවා ජනතා සේවයට කැප උනා ලු. මෙහෙම හොඳින් කාලේ ගෙවීගෙන යද්දී රජතුමා පොළොන්නරුව දිහාට පදිංචිය වෙනස් කළා ලු (මේක රාජධානියේ මාරුවීමක් කියලා වරදවා වටහා ගන්න එපා). ඒත් පොළොන්නරුවේදී අසනීප වෙන රජතුමා එහිදීම අවසන් හුස්ම හෙළුවා ලු. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "රජෙක්" වූ හතරවන අග්බෝ රජතුමාගේ මරණය නිසා රට වැසියා ඉතාමත් කම්පාවට පත් වෙනවා. ඔහුගේ චිතකයෙන් අළු මිටක් ගන්න මිනිස්සු පොර කෑවා කියලත් කියනවා. 

ඉතින් ඊට පස්සේ රජ කමට පත් වෙලා තියෙන්නේ යුව රජ වෙලා ඉඳපු "දාසිව" (ක්‍රි. ව. 690) කියන කුමාරයා. හැබැයි අර බලවත් දෙමළ සෙන්පතියන්ගෙන් කෙනෙක් වන "පොත්ථකුට්ඨ" දාසිව කුමාරයා රජකමෙන් නෙරපලා පාලනය තමන්ගේ අතට ගන්නවා. ඒත් ඉතින් මේ දෙමළ සෙන්පතියා යටතේ ඉන්න රට වැසියා කැමති වෙන්නේ නැහැ. මේ නිසා ඔහු කරන්නේ "දත්ත" නම් රජකමේ උරුමයක් තියන කුමාරයෙක් හොයාගෙන ඔහු රූකඩ රජෙක් හැටියට තබාගෙන පාලනය ගෙනයාම. දත්ත කුමාරයා වැඩිකල් නොගිහින්ම මිය යන නිසා පොත්ථකුට්ඨ තවත් රූකඩ රජෙක් හොයා ගන්නවා. ඒ තමයි "හත්තෝදා" (ක්‍රි. ව. 691).  

ඔය අතරේ තමයි දෙවන කාශ්‍යප රජතුමාගේ පුතා වෙච්ච්ච "මානවම්ම" කුමාරයා කරලියට එන්නේ. මතකයි නේද පහුගිය ලිපියෙදි කතා කරා, කාශ්‍යප රජතුමා මියයද්දී රජකම දෙන්න තරම් සුදුසු වයසක ඔහුගේ දරුවන් නොසිටි නිසා බෑනා කෙනෙක්ට රජකම දුන්නා කියලා. ඉතින් මේ ලාබාළ වයසේ ඉඳපු දරුවෙක් තමයි මානවම්ම කුමාරයා. ඔහු ඉන්දියාවේ පල්ලව දේශයට පලා ගොස් සැඟවිලායි හිටියේ. පල්ලව රජ වූ "නරසිංහ වර්මන්" සමීපයෙන්ම ඇසුරු කරමින් ඉඳලා ලක්දිව රාජ්‍ය අල්ලගන්න ඔහුගෙන් ආධාරත් ලබා ගන්නවා. මානවම්ම ඒ සඳහා පළමු උත්සාහය දරන්නේ දෙවන දාඨෝපතිස්ස රජතුමාගේ කාලයේදී. ඒත් ඒක අසාර්ථක වෙන නිසා ඔහු නැවතත් පල්ලව දේශයට පලා යනවා. ඉන් අවු. 20 කට පමණ පස්සේ දෙවන නරසිංහ වර්මන් රජතුමාගෙන් නැවතත් ආධාර අරගෙන මානවම්ම කුමාරයා නැවත ලංකාවට එනවා. මේ තමයි අර පොත්ථකුට්ඨ සහ හත්තෝදාඨ එකතු වෙලා රජකම් කරපු කාලය. ඉතින් මානවම්ම කුමාරයා මොවුන් පරදවලා ලක්දිව රජකම ලබා ගන්නවා. 

මේ විදියට තමන්ගේ උරුමය ලබා ගතිපු මානවම්ම රජතුමා (ක්‍රි. ව. 691 - 726) අවුරුදු 35 ක් ම ලක්දිව රජ කරමින් රට සමෘදිමත් කරනවා. එවකට බලවත්ව සිටි ද්‍රවිඩයින් ඒ නිල වලින් පහ කරලා ගැටළුවක්ව තිබූ ද්‍රවිඩ බලය මැඩලන්න කටයුතු කරනවා. ඒ වගේම පල්ලව කලා සම්ප්‍රදායයන් ආදිය ලංකාවේ ස්ථාපිත උනෙත් මේ කාලයෙමලු. රජතුමාට පල්ලව දේශයත් එක්ක තිබුණු සම්බන්ධතා නිසා එහෙම වෙන්න ඇති. මොහුගෙන් නව ලම්භකර්ණ රාජ පරපුරක් ඇරඹුන බවත් සඳහන් වෙනවා. 

මානවම්ම රජතුමාගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත් "අග්බෝ V" රජතුමා (ක්‍රි. ව. 726 - 732). මේ රජතුමාත් ධාර්මිකව 6 වසරක් රට පාලනය කරලා තියනවා. ඉන් පස්සේ රජ උනේ ඔහුගේ සොහොයුරු "කාශ්‍යප III" රජතුමා (ක්‍රි. ව. 732 - 738). ඉතාමත් කරුණාවන්ත රජ කෙනෙක් වූ ඔහු සතුන් මැරීම තහනම් කරන්න නීති පැනෙව්වා ලු. 

කාශ්‍යප රජතුමාගෙන් පස්සේ රජ වෙලා තියෙන්නේ ඔවුන්ගේ බාලම සොහොයුරු "මිහිඳු I" රජතුමා (ක්‍රි. ව. 738 - 741). මිහිඳු රජතුමාගේ කුළුපග මිතුරෙක් වන "නීල" ගේ මරණය නිසා කලකිරීමෙන් සිටි නිසා ඔහු  අභිෂේක මංගල්‍යයක්වත් පවත්වන්න අකමැති උනාලු. රජ පදවිය නොලබාම පාලන කටයුතු අරගෙන ගිය මිහිඳු රජතුමා අවුරුදු තුනකින් මිය පරලොව යනවා. 

මී ළඟ ලිපියෙන් අපි පුදුමාකාර සොහොයුරෝ දෙන්නෙක් ගැන කතා කරමු. 

Monday, October 22, 2012

සරත් සිරිය

හැමෝම අහල ඇතිනේ සෘතු හතර ගැන...

වසන්ත - Spring
ගිම්හාන - Summer
සරත් - Autumn / Fall
සිසිර - Winter

අපිට මේ දවස්වල බැලූ බැලූ අත පේන්නේ රතු, කහ සහ රන්වන් පාට කොළ පිරිච්ච ගස්. ඒ අතරින් පතර සදා හරිත ගසුත් නැතුවම නෙමෙයි. උත්තරාර්ධ ගෝලේට සොඳුරු සරත් සමය ලබලා දැන් මාස දෙකක් විතර ඇති. දැන්නම් කොළ හැලෙන්නත් පටන් අරගෙන.

මේ තියෙන්නේ අපේ ගේ ඉස්සරහ තියන ගහ...
ගහ කිව්වට ඉතින් ගහෙන් බාගයයි.




මේ තියෙන්නේ පහුගිය දවස්වල ගතිපු තවත් පින්තූර ටිකක්. 







දැන් ඉතින් පින්තූර ටිකක් විතරක් පෙන්නලා යන එක හරි නැහැ නේ. ඒ නිසා තව පොඩි දෙයක් ගැනත් කතා කරමු නේද. ඔයාලා දන්නවද සමකයට ඈතින් පිහිටි රටවලට මෙහෙම සෘතු භේදයක් ඇති වෙන්නත් ලංකාව වගේ රටවලට එහෙම නොවෙන්නත් හේතුව මොකක්ද කියලා? ගොඩක් අය දන්නවා ඇති.නොදන්න අයටත් දැනගන්න අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. 

ඕකට බලපාන ප්‍රධානම සාධකය තමයි අපේ පෘථිවියේ තියනවයි කියන අංශක විසිතුන හමාරේ ඇලය. අනික, පෘතුවියේ පරිභ්‍රමණය. 



මෙන්න මේ විදියට අංශක 23 යි 1/2 ක් ඇල වෙච්ච ගමන් තමයි පෘතුවිය බ්‍රමණයේත් පරිභ්‍රමණයේත් යෙදෙන්නේ. මේ වෙලාවේ අපි බ්‍රමණය ගැන හිතන්න යන්නේ නෑ. මොකද බ්‍රමණය හින්දා ඇති වෙන්නේ දවල් රෑ වෙනස නේ. සෘතු භේදයට බලපාන්නේ පරිභ්‍රමණය. 

හරි එහෙනම් අපි බලමු අර උඩින් කියපු සෘතු හතර ඇති වෙන හැටි. 

මුලින්ම මේ රූපයේ June 22 කියලා තියන අවස්ථාව ගනිමු...


ඒ අවස්ථාවේදී උත්තරාර්ධ ගෝලය සූර්යයා දිහාවට බර වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩි සෘජු හිරු කිරණ ප්‍රමාණයක් ඒ ප්‍රදේශ වලට ලැබෙනවා (ඒකීය වර්ගඵලයක් මත වැටෙන කිරණ ප්‍රමාණය වැඩියි). ඒ නිසා උත්තරාර්ධ ගෝලය එකසිය ගානට රත් වෙනවා. ඉතින් ඒ තමයි ගිම්හාන කාලය. ඒ වගේමයි රූපයේ පේනවා ඇති, ඒ අවස්ථාවේදී ඉර එලිය වැටෙන වපසරිය උත්තර ධ්‍රැවයෙනුත් එහාට පැනලා. පෘතුවිය බ්‍රමණය උනාට උත්තර ද්‍රවයට හැම තිස්සෙම එළියයි. ඒ කියන්නේ එහාට රෑ වෙන්නේ නැහැ දිගටම දවාල :) ඒ දවස්වලට කියන්නේ Polar days කියලා. ඒ වගේම මේ වෙලාවේදී දක්ෂිණ ධ්‍රැවයට ඉර පායන්නෙම නැහැ. ඒ දවස්වලට කියන්නේ Polar nights කියලා. ගිම්හාන කාලෙට ඒ රටවල්වල දහවල් කාලය වැඩි වෙන්නත් ශිත කාලයට දහවල අඩු වෙන්නත් බලපාන හේතුවත් මේකයි. 

දැන් බලමු ඔය අවස්ථාවේදීම දක්ෂිනාර්ධ ගෝලයට මොකද වෙන්නේ කියලා. ඒකෙ වැඩි හරියක්ම තියෙන්නේ අඳුරේ. යන්තම් දවල් කාලෙට හිරු කිරණ ටිකක් ලැබුනට දවල් කාලය කෙටියි. බොහොම අඩු කිරණ ප්‍රමාණයක් ලැබෙන නිසා සෑහෙන සීතලක් දැනෙනවා ඒ ප්‍රදේශවලට. අන්න එහෙමයි දක්ෂිනාර්ධ ගෝලයට හිම පිරිච්ච සිසිරය ලබන්නේ. ඒ කියන්නේ උත්තරාර්ධ ගෝලයේ හඳ අල්ලපු රටට ගිම්හානය ලබද්දී දක්ෂිනාර්ධ ගෝලයේ කැන්ගරු දේශේට හිම වැටෙන්න ගන්නවා. 

ඉතින් අපේ පෘතුවිය ඔහොම හෙමිහිට ගිහිල්ලා September 23  කියන තැනට එනවා. ඒ ස්ථානයේදී අංශක 23 1/2 ඇලය බලපාන්නේ නැති බව රූපය බැලුවම පේනවා ඇති. ඒ වෙලාවේ ඇලය පිහිටන්නේ සූර්යයා දෙසටවත් ඉවතටවත් නෙමෙයි. ඉතින් අර්ධ ගෝල දෙකටම ආසන්න වශයෙන් සමානව හිරු කිරණ ලැබෙනවා. මේ කාලේදී (සරත් කාලයේදී) උත්තරාර්ධ ගෝලයට ගිම්හානය ඉවර වෙලා උණුසුම අඩු වෙන කාලේ. ඉතින් ගස් වැල් සිසිරයට සූදානම් වෙන්න උවමනා නිසා කොළ හලන්න පටන් ගන්නවා. ඊට කලින් ඒවා ලස්සන පාට වලට හැරෙන නිසා තමයි සරත් සමය මේ තරම් ලස්සන. 

ඉතින් ඔය විදියට පෘතුවිය එනවා December 22 කියන ස්ථානයට. ඒ වෙද්දී ගස් වල ඉතුරු වෙලා තියෙන්නේ නටු විතරයි. පළාතම හිමෙන් වැහිච්ච කාලයක්. හැබැයි ඒ උත්තරාර්ධ ගෝලයට. දක්ෂිනාර්ධ ගෝලයට නම් මේ කාලෙට ගිම්හානය තමයි. ජුනි 22 රූපයේ විරුද්ධ අවස්තාව තමයි මෙතන තියෙන්නේ. 
ඊ ලඟට මාර්තු 21 වෙද්දී උත්තරාර්ධ ගෝලයට වසන්තය ලබලා. කොළ හැලිච්ච ගස්, මල් වලින් වැහිලා යනවා. හිම අස්සේ හැංගිලා ඉඳපු තණකොළ ලා කොළ පාටට ඔලුව උස්සනවා. මිට සමගාමීව දක්ෂිනාර්ධ ගෝලයට සරත් සමය ලබනවා. 

ඉතින් ඔන්න ඔහොමයි සෘතු විපර්යාස ඇති වෙන්නේ.

අර රුපය බැලුවම ඔයාලට පේනවා ඇතිනේ ලංකාවට සෘතු විපර්යාසයක් නැත්තේ ඇයි කියලා. ලංකාව තියෙන්නේ සමකය ආසන්නයේ. ඒ නිසා පෘතුවිය ඉර දෙසට හෝ ඉවතට ඇල උනා කියලා ලංකාවට ඒක බලපාන්නේ නැහැ. ඒ හින්දා ලංකාව ඝර්මකලාපීය රටක් :)

Related Posts Plugin for WordPress, Blogger...