Wednesday, March 28, 2012

පංචි දමන්නට කවුදැයි එන්නේ


කෝ බලන්න පංචි දාන හැටි දන්න කට්ටිය අත උස්සන්න....දැන් අවුරුද්දත් කිට්ටු වේගෙන එන හින්දා මට හිතුනා බොහොම විනෝද ජනක අවුරුදු ක්‍රීඩාවක් වන "පංචි" ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා කියල දෙන්න. මේවා අභාවයට යන්න නොදී නොදන්න අයට කියලා දෙන එක අපේ යුතු කම නේ. :)

මම ලංකාවෙන් එන්න කලින් හැම අවුරුදු කාලෙකදිම නොවැරදී කරපු දෙයක් තමයි නෑදෑයෝ සෙට් එකත් එක්ක පංචි දාන එක. නොකා නොබී වරු ගානක් කරන්න පුළුවන් සෙල්ලමක් තමයි පංචි කියන්නේ. ක්‍රීඩකයෝ වැඩි වෙන තරමට තමයි ඒකෙ ෆන් එක වැඩි වෙන්නෙත්. ඉතින් ඔයාලත් කැමතිනම් මේ අවුරුදු කාලේ පවුලේ හැමෝම එකතු කරගෙන විනෝද වෙන්න, ඔන්න මම කියල දෙන්නම් ක්‍රමේ.

අවශ්‍ය දෑ

* හොඳින් ශුද්ධ කර ගත් පොල් කටු දෙකක් (සාමාන්‍යයෙන් එකක් ගැහැණු පොල් කටුවක්. අනිත් එක පිරිමි පොල් කටුවක් වෙන විදියට තමයි ගන්නේ)
* බෙල්ලෝ 7 ක් (බෙල්ලොන්ගේ ඇතුලට ඊයම් පිරෙව්වොත් තමා වඩා හොඳ. නැතත් අවුලක් නැහැ)


* ක්‍රීඩකයින්ට ඉඳ ගන්න පැදුරක් 
* ගෝනියක් (නවපු බෙඩ් ෂීට් එකක් උනත් කමක් නැහැ.)
* බල්ලෝ 6 ක්. බල්ලෝ කිව්වේ පොඩි ඉත්තෝ වගේ ඒවා. පොඩි ගල් කැට, පිඟන් කෑලි වගේ දේවල් මේ වැඩේට හරි යනවා. එක ජාතියෙන් තුන ගානේ, පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ජාති දෙකකින් හොයා ගත්තම හරි. පංචි වලදී ඒවාට කියන්නේ "බල්ලෝ" කියලා. 
* ක්‍රීඩකයින් ඉරට්ටේ ගණනක්. අඩුම තරමේ දෙන්නෙක් වත් ඕන. (ඔත්තේ ගණනක් ඉන්නවනම් අඩු පිළ ට හුන්ගෙක් දා ගත්තම හරි. හුන්ගා කිව්වේ ඇලේ ඉන්න එකා නෙමෙයි හොඳේ)
* පංචි පෙත 

පංචි පෙත ඔයාලට ඇඳ ගන්න වෙනවා. ලොකු ඝනකම් කාඩ් බෝඩ් එකක හරි තුනී ලෑලි කෑල්ලක හරි මේක ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි අඳින්න ඕන. රූපෙ උඩ ක්ලික් කරලා බලන්න. 



පෙතේ වැදගත් ස්ථාන වලට කියන නම් තමයි මම ලකුණු කරලා තියෙන්නේ. ඔය කතිර කොටු හරියට නිකන් බල්ලෝ හති අරින ගිමන් හල් වගේ. බල්ලෙක් එයින් කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට බැහැ ඌ ව කපන්න. හැම කොටු හයකට වරක්ම කතිර කොටුවක් හමු වෙනවා. එකම පිලේ බල්ලන්ට ඕනෑම කොටුවක එක වෙලාවේ ඉන්න පුළුවන් උනත් දෙජාතියේ බල්ලොන්ට එකට ඉන්න පුළුවන් රූපයේ පෙන්නලා තියන කතිර කොටුවේ විතරයි. පටන් ගනිද්දී බල්ලෝ ඉන්නේ අර ඇඳලා තියන රවුම් දෙකේ. 

හරි, දැන් බලමුකෝ සෙල්ලම යන්නේ කොහොමද කියලා. 

මුලින්ම පැදුර බිම එලන්න. පැදුරේ මැදට වෙන්න ගෝනිය හරි නවාගත්ත බෙඩ් ෂීට් එකක් හරි එලන්න (මෙහෙම කරන්නේ බෙල්ලෝ හොඳට පෙරලෙන්න ඕන නිසා). ගෝනිය උඩ ගැහැණු පොල් කටුව මුනින් අතට නවන්න. පැදුරේ එක අයිනකින් පංචි පෙත තියා ගන්න. පෙත දෙපැත්තේ ඉඳ ගන්න ඕන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්නා. එයාලා දෙන්නා තමයි "අය තියන්නේ" (අය තියනවා කියන්නේ පෙතේ බල්ලන්ව හැන්ඩ්ල් කරන එකට). ඊට පස්සේ එක පිලක නායකයා ගාවින් අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. එයා ගාවින් ආපහු අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. ඔය විදියට පිල් දෙකේ අය මාරුවෙන් මාරුවට රවුමට වාඩි වෙනවා අර පොල් කටුව නවපු ගෝනිය මැදි වෙන විදියට. 

තමන්ට අයිති බල්ලෝ තුන් දෙනා පෙතේ තමන්ගේ පැත්තේ මේ විදියට තියා ගන්නවා. 


ඔන්න ෆීල්ඩ් සෙටින්ග්ස් හරි. දැන් පටන්ගමු සෙල්ලම. විස්තර කිරීමේ පහසුව සඳහා නිල් බල්ලන් අයිති පැත්ත නිල් පිළ හරියටත් අනිත් අය රතු පිළ හැටියටත් හඳුන්වන්නම්.

මුලින්ම කියන්නම් බල්ලෝ පෙත දිගේ ගමන් කරන්න ඕන හැටි. නිල් පාටින් පෙන්නන්නේ නිල් පිලේ බල්ලෙකුගේ ගමන් මාර්ගය. අනික රතු පිලේ බල්ලෙකුගේ ගමන් මග. රූපය ක්ලික් කරලා බලන්න. 

දැන් පේනවා ඇති එක බල්ලෙක් ගේ ගමන් මගේදී එක කොටුවක් විතරක් දෙපාරක් හම්බ වෙනවා කියලා (බල්ලට හම්බ වෙන 3 වෙනි කතිර කොටුව). ඒ කොටුවට දෙවැනි වතාවේ ආවම "බල්ලා ගෙට ආවා" කියල තමයි කියන්නේ. ඒ වෙලාවට ඔය කොටුවේ නවතින්න හිතුනොත් බල්ලව තමන්ගේ පැත්තේ "ගෙය" කියලා ලේබල් කරලා තියන තැනට තාවකාලිකව දා ගන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවකින් එහා පිලේ අය කියාවි ඌ රවුමේ ගිහින් ආපු එකෙක් නෙමෙයි රවුම යන්න පටන් ගන්න එකෙක් කියලා:). ඉන් පස්සේ තමයි ඌ ගහේ නගින්න පටන් ගන්නේ. ඔහොම යද්දී අර තරුවක් ලකුණු කරලා තියන තැන හම්බ වෙනවා නේද. තරුව ඇඳලා තියෙන්නේ ඉරක් උඩ නේ. අන්න එතනත් බල්ලා නැවතිලා තමයි යන්න ඕන (ඒ කියන්නේ එතනටත් එක ලකුණක් අයින් වෙනවා) . බල්ලෝ තුන් දෙනාම මෙහෙම ගිහින් ගොඩ  (රූපය බලන්න) යන්න ඕන. එහෙම මුලින්ම යන පිළ දිනුම්. 

දැන් ඉතින් බල්ලන්ව ගමන් කරවන්න ලකුණු ගන්න ඕන නේ. ඒක කරන්නේ මෙහෙමයි. 

මුලින්ම එක නායකයෙක් (හිතමු නිල් නායකයා කියලා) අර ඉතුරු පොල් කටුව අරගෙන බෙල්ලෝ හත් දෙනා ඒකට දාලා හොඳට හොලවලා නවපු පොල් කට්ටේ මුදුනට බෙල්ලෝ ටික අත අරිනවා. ඉන් පස්සේ ගෝනිය උඩට වැටෙන බෙල්ලන්ගෙන් කී දෙනෙක් උඩ අතට හැරිලද කියලා ගණන් කරනවා. මෙතනදී වැටෙන ගණන අනුව තමයි එයා සෙල්ලමට අවතීර්ණ වෙන එක තීරණය වෙන්නේ. ඒකට කියන්නේ "සළු" වෙනවා කියලා. සළු වෙන්න නම් 6 ක් හෝ 5 ක් හෝ 1 ක් හෝ වැටිය යුතුයි. 

ඉතින් නිල් නායකයා සළු නොවුනොත් ඔහු ළඟ ඉන්න අනිත් පිලේ කෙනාට පංචි දාන්න වාරය ලැබෙනවා. අපි හිතමු ඔහුට 6 ක් වැටුනා කියලා. ඒ කියන්නේ ඔහු සළුයි. 1 ක්, 5 ක් හෝ 6 ක් වැටුනොත් ඒ කෙනාට ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතමු ඊ ලඟට ඔහුට 4 ක් වැටුනා කියලා. එතකොට එකතුව 10 යි. රතු පිලේ බල්ලෝ තුන් දෙනාට ලකුණු තුනක් ඇරලා ඉතුරු ලකුණු 7 න් අය තියන්න පටන් ගන්න පුළුවන්. හැබැයි ඔහු සළු උන පලියට රතු පිලේ අනෙක් අය සළු නැහැ නේ. ඒ අයත් සළු වෙන තුරු ඒ අයට වැටෙන ලකුණු අය තියන්න පාවිච්චි කරන්න බැහැ. ඊ ලඟට අත පාස් වෙන්නේ නිල් පිලේ කෙනෙක්ට. ඔහුත් සළු වෙන්න ට්‍රයි කරනවා. හරි ගියොත් බල්ලෝ 3 දෙනාට ලකුණු 3 ක් කපලා ඉතුරු ටිකෙන් අය තියන්න පටන් ගන්නවා. දැන් ඔයාල බලාවි කාටහරි 1 ක් වැටිලා සළු වුනොත් බල්ලොන්ට ලකුණු තුනක් කපන්නේ කොහොමද කියලා. මොකද 1 ලකුණයි නේ තියෙන්නේ. එතකොට කරන්නේ ඒ ලකුණෙන් එක බල්ලෙක් සළු කර ගන්න එක. ඊ ළඟ වැටෙන ලකුණු ඒ බල්ලා ගෙන් අය තියන්න පුළුවන්. හැබැයි අනිත් බල්ලෝ දෙන්නා පාවිච්චි කරන්න තහනම්. එයාලගෙන් අය තියන්න නම් කවුරු හරි තවත් 5 ක් හෝ 6 ක් (5 හෝ 6 ලකුණු වලට පොදුවේ "පන්චක්" යයි කියනු ලැබේ) දාලා උන්වත් සළු කර ගන්න ඕන. 

දැන් ඔයාලට තේරෙනවා ඇති. හැම ක්‍රීඩකයෙක්ම වෙන වෙනම සළු විය යුතු බවත් (බීලා එහෙම නෙමෙයි),  මුලින්ම සළු වෙන අය විසින් බල්ලන්ද සළු (නිදහස්) කර ගත යුතු බවත්. දැන් අපි හිතමු කලින් කිව්වා වගේ රතු පිලේ කෙනාට පිලිවෙලින්  6 ක් සහ 4  ක් වැටුනා කියලා. ඔහු බල්ලෝ 3 දෙනා සළු කර ගන්නවා. එතකොට ඉතුරු 7 යි. ඔහුට පුළුවන් මේ විදියට අය තියන්න පටන් ගන්න. 

ඔහු කැමති නම් එක බල්ලෙක් විතරක් සළු කරගෙන ඉතිරි 9 ම අය තියන්නත් පුළුවන්. හැබැයි අනිත් දෙන්නා සළු කර ගන්නකම් උන්ගෙන් අය තියන්න බැහැ. 

නැත්නම් එක බල්ලෙක්ගෙන් 6 ක් තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු එක තියන්නත් පුළුවන් මේ විදියට. (මෙහෙම ලකුනු ටික බල්ලෝ දෙන්නෙක්ට කඩලා අය තියන්න පුළුවන් වෙන්නේ පන්චක් වැටුන වෙලාවක විතරයි)


ඒක ඉතින් නායකයා කැමති හැටියක්. හැබැයි ටිකක් මොලේ කල්පනා කරලා කරන්න ඕන වැඩක්. 

දැන් අය තැබීමේ නීති රීති ටිකත් කියන්නම්.

* බල්ලෙක් කතිර කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට ඌ ව කපන්න බැහැ කියල කිව්වනේ. නිකන් කොටුවක හිටියොත් අනෙක් පිලේ බල්ලාට ඒ කොටුවට එන්න ලකුණු වැටුනොත් ඌ කපන්න පුළුවන්. බල්ලාව කපන්න 3 ක් ඕනනම් වැටුනේ 4 ක් නම් ඌ ව කපන්න බැහැ. හැබැයි පන්චක් වැටුනානම් (5 ක් හෝ 6 ක්) කිසි කතාවක් නැතුව කපන්න පුළුවන්. එතකොට බල්ලා කපන්න ලකුණු තුනක් අරගෙන ඉතුරු ලකුණු ටිකෙන් ඒ බල්ලම කන්ටිනිවු කරන්නත් පුළුවන්. නැත්නම් වෙන බල්ලෙක් ව යවන්නත් පුළුවන්. 

* මෙහෙම පංචි වැටිච්ච වෙලාවට එක බල්ලෙක්ගෙන් කැමති තරමක් අය තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු ටික තියන්නත් පුළුවන් (කලින් කිව්වා වගේ). ගොඩක් වෙලාවට බල්ලන්ව කතිර කොටුවල තියා ගන්න පුළුවන් නම් හොඳයි. තුන් දෙනා එක ළඟ හිර නොවෙන්නත් වග බලා ගන්න ඕන .

* බෙල්ලෝ 7 දෙනාම උඩ අතට වැටුනොත් එක ලකුණත් වත් ලැබෙන්නේ නැහැ :). මේ වගේ අවස්ථාවක් හඳුන්වන්නේ "මළක්" කියලා.

* බෙල්ලෝ 7 දෙනාම යටි අතට වැටුනොත් ලකුණු  14 ක් ලැබෙනවා වගේම ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒකට කියන්නේ "බොක්ක" කියලා. හැබැයි මේ 14 කැමති විදියට බල්ලන්ට කඩලා තියන්න පුළුවන් වෙන්නේ ඒ අතේදීම පන්චකුත් වැටුනොත් විතරයි. නැත්නම් බෙල්ල ගහල ගියත් 14 ම එක බල්ලෙක් ගෙන් තියන්න ඕන. 

* තමන්ගේ පිලේ බල්ලෙක් කැපුනොත් එහෙම ඌ ට අනිත් පිලේ "රවුම" ට යන්න වෙනවා. එතකොට ඌ තහනම් බල්ලෙක්. ආපහු ඌ ව ගන්න (සළු කරගන්න) පුළුවන් වෙන්නේ 1 ක්, 5 ක් හෝ 6 ක් දැම්මොත් තමයි. එහෙම වැටුනොත් බල්ලට ලකුණක් කපලා ඌ ව අරගෙන අපේ රවුමෙන් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඌ ට සිද්ධ වෙනවා ආපහු මුල ඉඳං ගමන පටන් ගන්න. 

* මෙහෙම අවස්ථාවක් හිතන්න. ඔන්න නිල් පිලට 4 ක් වැටුනා. එයා අය තියන්න හදන බල්ලා ට 4 ක් එහා කොටුවේ අනිත් පිලේ බල්ලෙක් ඉන්නවා. එතකොට එයාට ඒ බල්ලා ගෙන් අය තියන්න බැහැ (ඒ අවස්තාව ට කියන්නේ "උල යි" කියලා). ඒ නිසා වෙන බල්ලෙක්ගෙන් අය තියන්න වෙනවා. කිසිම බල්ලෙක්ගෙන් තියන්න බැරි නම් ඒ ලකුණු ටික අත ඇරලා අත පාස් කරනවා. හැබැයි අය තියන්න පුළුවන් බල්ලෝ ඉඳිද්දී නිකරුනේ අත පාස් කරන්න ඔට්ටු නැහැ.

* බල්ලෙක් ජසේ ඉන්න වෙලාවට (නම් කරපු රූපය බලන්න) ඌ ට ගොඩ යන්න ඕන නම් එක්කෝ 1 ක් නැත්නම් පන්චක් වැටෙන්නම ඕන. 

ඔන්න මම හිතන විදියට ඔක්කොම නීති රීති ටික කිව්වා. තව අඩු පාඩු ඇති සමහර විට. ඔයාලා ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන්. සෙල්ලම කරලම බලන්න ඕන ඉතින් මේකේ තියන ෆන් එක තේරෙන්න. ඒ වගේම එල කිරි නෑදෑයෝ සෙට් එකකුත් ඉන්න ඕන ඒකට. මට හිතෙන විදියටනම් මේ වැඩේට හරි යන්නේ යාළුවො නෙමෙයි. නෑයෝම තමයි. එක එක වයස් වලින් (අත්තම්මාගෙන් පටන් ගත්තම අම්මා, තාත්තා, මාමලා නැන්දලා, මල්ලිලා, අවු. 5 විතර පොඩි එවුන් උනත් කමක් නෑ) කට්ටිය ඉන්නවනම් මරු. එතකොට තමයි එතන එකම කාලගෝට්ටියක් බවට පත් වෙන්නේ. ඒක ඉතින් අත් විඳලම බලන්න ඕන. 

කොහොමත් අපි අවුරුදු ක්‍රීඩා කරන්නේ පවුලේ අයත් එක්ක නේ. ඒවායින් පවුල්වල තියන බැඳීම වැඩි වෙනවා වගේම අලුත් වෙනවා කියලා මට හිතෙනවා. අවුරුදු ක්‍රීඩා වල අරමුණත් ඒකම වෙන්න ඇති. ඒ වැඩේට මේ සෙල්ලමනම් කියාපු සෙල්ලමක්. හැමෝටම සහභාගී වෙන්න පුලුවන් නිසා. 

ඉතින් ඔයාලත් කැමතිනම් කරලා බලන්නකෝ. සෙල්ලම කරද්දී ප්‍රශ්න ආවොත් කමෙන්ට් එකකින්වත් අහන්ඩ. ඒවාට උත්තර දෙන්න මම බැඳී සිටිමි :))

Thursday, March 22, 2012

රිදවන මතකය ගුලි කර මහ සයුරට දමන්න

දානවා කියලා හිතාගෙන හිටපු පෝස්ට් එක මග නවත්තලා වෙන පෝස්ට් එකක් දාන්න සිද්ධ උනේ මේ දවස්වල උන සිද්ධි කිහිපයක් හින්දා ඔලුව සම්පූර්ණයෙන් අවුල් උන නිසා.

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වීම ගැන එක එක අය එක එක අදහස් දක්වනවා. අනේ මන්දා ඉතින්, මේ ගැන කතා කරන්න යන එකේ නම් තේරුමක් නැහැ. බලවත් රටවල් වලට අපේ ඔලුවට අත හෝදන්න පුළුවන් වෙන විදියට වැඩ කරා නම් අපේ පාලකයොත් මෙතැනදී වැරදියි. මව් බිම ට විරුද්ධව බටහිර ට ගැතිකම් කරන ලාංකිකයින් කියලා කියා ගන්නා අයත් වැරදියි. අනුන්ගේ ඇහේ තියන රොඩ්ඩ හොයන්න යන ඇමරිකාවත් අන්තිම වැරදියි. සේරටම වඩා මටනම් තද උනේ මෙලෝ දෙයක් නොදැන ඇමරිකාව "යස්" කිව්වොත් "යස්" කියන්න බලාගෙන ඉන්න ලංකාවට විරුද්ධව චන්දෙ දීපු අනිත් සමහර රටවල් එක්ක.

ඇත්තටම ඔය උල්ලංගනය කරා කියන මානව අයිතිවාසිකම් ගැන මම නම් වැඩිය දන්නේ නැහැ. කිසිම සිවිල් මිනිහෙක් නොමැරෙන විදියට "යුද්ධයක්" කරන්න පුලුවන්ද කියලත් මම දන්නේ නැහැ. පහුගිය අවුරුදු 30 ඇතුලත කිසිම මානව අයිතිවාසිකමක්‌ උල්ලංගනය උනාද කියලා මෙයාල හොයල බැලුවේ නැත්තේ ඇයි කියලා දන්නෙත් නැහැ. යුද්ධේ ඉවර කරාට පස්සේ විතරක් උඩ දාගෙන කෑ ගහන්නේ ඇයි කියලා හිතා ගන්නත් බැහැ.

හරි ඒ කතා පැත්තක තියමුකෝ. උන දේ උනා. දැන් අඬලා පලක් නැහැ නේ. ඕවා මේවා හිත හිත ඉන්නකොට තමයි පහල තියන වීඩියෝව අහම්බෙන් දැක්කේ.

පුනරුත්ථාපනය කරන ලද කොටි සාමාජිකයෙක් (ගෝකුලන්) සිංහල ගීතයක් ගායනා කරනවා. මෙහෙයවන්නා සමග පොඩි සංවාදයකුත් යනවා. ඇත්තටම මේක බලන් ඉද්දි මට හිතා ගන්න බැරි උනා මෙයා ඇත්තටම කොටි සාමාජිකයෙක් වෙලා ඉන්න ඇත්ද කියලත්. මුලින්ම ඒක බලල ඉන්නකෝ...





"හන්දානට පායන හඳ ලස්සනා..යි ද කෙයන්න..."

කොයි තරම් අව්‍යාජ ද? කලාතුරකින් තෙත් වෙන මගේ ඇස් දෙකට කඳුළු ගේන්න මේ වීඩියෝවට පුළුවන් උනා.

ඒ හිනාව, කතාව ඒ හැම දෙයක්ම දකිනකොට කොහොමද හිතන්නේ මේ අපේ රටට වින කරපු කොටි සාමාජිකයෙක් කියලා. සංවිධානයට ඔහුව බලෙන් ගෙන ගිය බවක් තමයි ඔහු කියන්නේ. මේ වගේ කී දෙනෙක් අහිංසක දමිළ තරුණ තරුණියන් කොටි සංවිධානයට පැහැර ගෙන යන්න ඇත්ද. ගැළවීමක් නැති කමටම කොටි සංවිධානයට එකතු වෙලා අපේ මිනිස්සු අතින් "කොටියෝ" කියලා හංවඩු ගැහෙන්න ඇත්ද. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ගේ ලේ ත් රතු පාටයි. ලෙඩෙක් ට ලේ දෙන්න ඕන උනාම ඒවා ඕ පොසිටිව් ද නෙගටිව් ද කියලා බලනවා මිසක් දෙමළ ද සිංහල ද කියලා බලන සිරිතක් නැහැ.

අසරණ කම නිසා ජිවිතේ වැරදුනු ගෝකුලන් වැනි අයට දෙවැනි වරට ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දීපු අපේ මිනිස්සුන්ට අපි කෘතඥ වෙන්න ඕන. දැන් දැන් ඉදි වෙමින් පවතින උතුර දකුණ යා කරන අත්වැල තවත් සවිමත් කරන්න අපිත් දායක වෙන්න ඕන. කැඩිලා ඉහිරිලා ගිහින් තිබුණු පවුලක් ආපහු එකතු වෙන වෙලාවෙදි ඒක මැද්දට කාටවත් පනින්න අවස්තාව නොලැබෙන විදියට වැඩ කරන්න පවුලේ ලොකු උදවිය හිතට ගන්න ඕන. අන්න එතකොට ලංකාව දාලා ගියපු කුරුල්ලා "සාමයේ පරවියා" ආපහු අපිට දකින්න පුළුවන් වේවි.

"සාමය අත වනනා කල එපා අහක බලන්න...
...රිදවන මතකය ගුලි කර මහ සයුරට දමන්න"

Thursday, March 15, 2012

පාරමී පිරූ රජතුමා - රාජාවලිය XIV


ඉතින් අපි පහුගිය රාජාවලිය ලිපිය නතර කලේ  ඛුජ්ජනාග රජතුමා ලඟින්.  ක්‍රි. ව. 195 දී මේ රජතුමා , ඔහුගේම සොහොයුරා වන "කුඩා නාග/කුන්ච නාග"   අතින් ජීවිතක්‍ෂයට පත් වෙනවා. සොහොයුරා මරා රජ වන කුඩා නාගට රජකම් කරන්න ලැබෙන්නේ ක්‍රි. ව. 196 වන තෙක් පමණයි. කුඩානාග ගේ බිරිඳගේ සොහොයුරා (මස්සිනා) වන "සිරි නාග" රජුට විරුද්ධව කැරළි ඇති කර රජු ගේ බලය බිඳ සිහසුන ලබා ගන්නවා. මේ සිරිනාග රජතුමා අවු 19 ක් (ක්‍රි. ව. 215 තෙක්) ලක්දිව රජකම් කරනවා. 

සිරිනාග රජුගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත්‍රයා වන "වෝහාරිකතිස්ස" රජතුමා (ක්‍රි. ව. 215 - 237). මෙතුමා විසින් එතෙක් පැවති "අත් පා කපා දැමීම" වැනි දැඩි දඬුවම් ක්‍රම ඉවත් කළ නිසාත් නීතිය පිලිබඳ මනා අවබෝධයකින් පසු වූ නිසාත් "වෝහාරික (සාධාරණ) " නම් උපසර්ගය ලැබුනාලු. ඔහු විසින් මහායාන පොත් පත් විශාල ගණනක් ගිනි බත් කර ඇති අතර ථේරවාද දහමට ලොකු අනුග්‍රහයක් දැක්වුවා ලු. රජතුමා රටටත් බුදු සසුනටත් වැඩ කරන අතරෙදි, රජ බිසවයි රජුගේ සොහොයුරා වන "අභයනාග" යි එකතු වෙලා තවත් වැඩක් පටන් අරගෙන. අසම්මත ආදර සම්බන්ධයක්...

මේ ගැන රජතුමාට ආරංචි වෙන්න වැඩි කලක් ගිහින් නැහැ. ඉතින් අභයනාග කළේ රජුට විරුද්ධව සේනා සංවිධානය කරන අදහසින් ඉන්දියාවට පලා යාම. ඒ අතරෙදි අභයනාගගේ මාමා කෙනෙකු වූ "සුබදේව" ගේ ආධාරයෙන් රටේ ජනතාව රජතුමා කෙරෙහි කළකිරවන්න ත් ඔහු වග බලා ගත්තා. මේ විදියට උපක්‍රම යොදපු අභයනාග ඉන්දියාවෙන් සේනාවක් රැගෙන විත් ලේසියෙන්ම සිහසුන ජය ගත්තා වගේම බිසවත් සමග මලය දේශයට පලා යමින් සිටි තමන්ගේ සොහොයුරා ජිවිතක්ෂයට පත් කර බිසව තමාගේ මෙහෙසිය බවට පත් කර ගන්නවා. 

අභයනාග රජතුමා ඔය විදියට අවුරුදු 8 ක්  (ක්‍රි. ව. 237 - 245) රජ කම් කරනවා. ඉන් පසුව රජ වෙන්නේ වෝහාරිකතිස්ස රජු ගේ පුත් "සිරි නාග II" (ක්‍රි. ව. 245 - 247). මිට පෙරත් සිරිනාග කෙනෙක් රජ කළ නිසා හඳුනා ගැනීමේ පහසුව සඳහා අපි සිරි නාග II වශයෙන් හැඳින්වූවාට ඔහුගේ නමට ඉලක්කමක් ඇතුළත් නොවන බව සැලකිය යුතුයි :) මින් පසුවට ද මේ ආකාරයට රජවරුන් නම් කිරීම දක්නට ලැබෙන බවද කිව යුතුයි. සිරිනාගII මිය ගිය පසු රජ වෙන්නේ ඔහුගේ පුත් "විජය කුමාර" (ක්‍රි. ව. 247 - 248). 

                                              ~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ අතරෙදි තමයි මහියංගනයෙන් "සංඝතිස්ස", "සංඝබෝධි" සහ "ගෝඨාභය" නම් ලම්භකර්ණ කුමාරවරු තිදෙනෙක් රාජ්‍ය සේවය සඳහා අනුරාධපුරට පැමිණෙන්නේ. ඔවුන් එන අතරමගදී ඔවුන්ගේ අඩි ශබ්දය අසූ අන්ධ අනාවැකි කියන්නෙක් ප්‍රකාශ කරාලු මේ අය අනාගතයේ ලක්දිව රජ වෙන බව. මේ තිදෙනා විජය කුමාර රජුගේ ඉතාමත් විශ්වාසවන්ත සේවකයින් බවට පත් වෙලා කටයුතු කරන අතරෙදි සංඝතිස්ස කුමරු විසින් රජු මරා රජකම ලබා ගත්තා ලු. මෙහෙම අධර්මිෂ්ට විදියට රජ වුනු සංඝතිස්ස ට රජකම් කරන්න ලැබෙන්නේ අවුරුදු 4 යි (ක්‍රි. ව. 252 තෙක්). ඔහු ජම්බු කෑමේ ලොල් වූ අතර ප්‍රදේශ වාසින් විසින් ජම්බු වලට වස දමා දීමෙන් ඔහු මරණයට පත් වෙනවා. 

මී ලඟට රජකම හිමි වෙන්නේ ඔවුන්ගෙන් දෙවනියා වූ සංඝබෝධි ට. අපි "සිරි සඟ බෝ" රජතුමා (ක්‍රි. ව.252 - 254) නමින් හඳුන්වන්නේ ඔහු තමයි. මෙතුමා ඉතාමත් දැහැමි වගේම සංවේදී රජ කෙනෙක්. මරණ දඬුවම හිමි වුන හිර කරුවන් පවා නිදහස් කරලා යවන්න තරම් ඔහු සංවේදී උනා ලු. නමුත් අති සංවේදී කම රජ කෙනෙකුට ගැළපෙන දෙයක් නෙමෙයි. මේ අතරෙදි තමයි ඔවුන්ගෙන් තුන්වැන්නා වූ ගෝඨාභය කුමාරයා බල තණ්හාවෙන් සිරි සඟ බෝ රජුට විරුද්ධව කැරළි ගසන්නේ. රජතුමා කරන්නේ යුද්ධයක් ඇති වුවහොත් රට වැසියා නිකරුනේ මැරෙන බව සිතා රජකමත් සිහසුනත් සියල්ල අතහැර වන වැදීම. ගෝඨාභය ට රජකම ලැබුනත් ඔහු එයින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. සිරි සඟ බෝ රජුගෙන් කෙදින හෝ අනතුරක් වෙන එක වළක්වන්න ඔහුට උවමනා වෙනවා. ඒ නිසා සිරිසඟබෝ රජුගේ හිස ගෙනෙන කෙනෙකුට ත්‍යාගයක් දෙන බව කියා රට පුරා අඬබෙර ගසනවා. මේ නිසා මිනිස් හිස් රැගත්  දහස් ගනන් මිනිසුන් දිනපතා රජ මාලිගය ට විත් එය සිරිසඟ බෝ රජු ගේ බව පවසන්න පටන් ගන්නවා. 

එක දවසක් වනය හරහා යන දුගියෙකුට දකින්න ලැබෙනවා ගසක් යට ඉඳගෙන තවුස් දම් පුරන කෙනෙක්. ඔහු තමාගේ බත් පතෙන් කොටසක් තවුසා ට දී සිරිසඟ බෝ රජුගේ හිස සම්බන්ධ පුවතත් ඔහුට පවසනවා. ඉතින් අර තවුසා වෙන කවුරුත් නෙමෙයි, සිරිසඟ බෝ රජතුමා. තමා නිසා සිදුවන මිනිස් සංහාරයෙන් කම්පා වූ ඔහු දුගියාට හිස දන් දෙන්න තීරණය කරනවා. හිස තමා ගේ යයි පිළිගැනීමට ගෝඨාභය රජු මැලි වුනොත් හිස අහසට විසි කරන්නත් එවිට හිස අහසේ රැඳෙන බවත් පවසා දුගියාට හිස දන් දෙනවා.  මෙය, මතු බුදුවරයෙක් දාන පාරමිතාව පිරූ අවස්ථාවක් හැටියට බෞද්ධයින් විසින් විශ්වාස කරනු ලබනවා. මේ හිස දන් දීම සිද්ධ වුනේ අත්තනගල්ල විහාරය පිහිටා ඇති තැන බව සමහරු පවසන අතර තවත් සමහරු පවසන්නේ එය සිදු වුනේ හත්තිකුජ්ජි විහාරය ඇති තැන බවයි. 

ඉන් පස්සේ ගෝඨාභය රජතුමා අවුරුදු 13 ක් (ක්‍රි. ව. 254 - 267) රජකම් කළා ලු. අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු ගෝඨාභය රජුගේ පරපුර ඉදිරියට යන හැටිත්, ජනතාව දේවත්වයෙන් ඇදහූ රජ කෙනෙක් ගැනත්.

Friday, March 9, 2012

බලු බළල් ඉතිහාසය

සත්තුන්ගේ කතා නම් කොච්චර ලිව්වත් එපා වෙන්නේ නැත. ලඟදී සුරතල් සතුන්ගේ ලිපියක් දැක්කේ නැති නිසාත් අපේ ගෙදරත් සතුන් සම්බන්ධයෙන් හොඳවයින් හිස්ට්‍රියක් ඇති නිසාත් ඒ ගැන ලියන්නට සිතුනි.

මගේ මුල්ම සුරතලා වූ හිච්චා ගැන මීට කලින් ලියා ඇත. ඒත් ඌ හිටියේ ගමේ, සීයාගේ ගෙදරය.  ඌ හැර දමා අපිට යන්නට සිදු වුනේ තාත්තාට තිස්ස මහාරාම ට මාරුවක් ලැබීම නිසාය. තිස්ස මහාරාමේ සිටින තුරාවට කිසිම සිවුපා සතෙක් අපේ ගෙදර නොහිටියත් තාත්තා විසින් සීලිමේ රැඳවූ ෆාලීස් රස්ක් පෙට්ටියක ගේ කුරුළු පවුලක් වාසය කළා මට මතකය. මිදුලේ විශාල කූඩුවක සිටි ලව් බර්ඩ්ස් ලා රොත්තත්,  දිනක් අපි ගමේ ගොස් පැමිණෙද්දී කූඩුවට කඩා වැදුනු ගැරඬියෙකු කර තිබූ සංහාරයත් මට මතකය. ඒ ඇරෙන්න ආරක්ෂාවට කියා කිසිම බල්ලෙක්වත්, මීයන් ඇල්ලීමට කියා කිසිම බළලෙක් වත් ගෙදරට නොගෙනාවේ අම්මාගේ බලවත් අකමැත්ත නිසා විය යුතුය. අපේ අම්මා ආදරයෙන් ඉවසූ සතෙක් සිටී නම් ඒ හිච්චා පමණි.

නැවතත් තාත්තාට ලැබුණු මාරුවක් නිසා තිස්සමහාරාම ජිවිතයට ආයුබෝවන් කියා අපි  පැමිණියේ හම්බන්තොට, මාතර දිස්ත්‍රික් මායිමේ පිහිටි කඳු වලින් වටවූ මිටියාවතක් වැනි ගමකට ය. එය මට කටුරොද ගම සිහි කරවන බැවින් ද, ඒ ගමේ නමත් බොහෝ දුරට "කටුරොද" ට සමාන බැවින්ද මම ඒ ගමට ඉදිරියේදී "කටුරොද" කියාම කියමි. අපේ පළමු සිවු පා සුරතලා අපේ ගෙදරට පැමිණියේ කටුරොද දී ය.
තාත්තාගේ ඔපීසියේ වැඩ කරන රත්නේ මාමා ගේ ගෙදර ගිය විටෙක තැඹිලි පාට නාටු පූස් පැටියෙක් කිරි වීදුරුවක් තොල ගානවා දුටිමි. ඒ කවුරු හෝ පාර අයිනේ තබා ගොස් තිබූ එකෙකු බව රත්නේ මාමාගේ නැන්දා කීවාය. අන්තිමේදී ඌ ඕනා බව කියා අම්මාගේ අකමැත්ත ඉදිරියේ නහයෙන් ඇඬූ මගේ අභිමතාර්ථය ඉටු විය. මාරි පෙට්ටියක හිල් හිල් කපා එයට පූස් පැටියාව ඔබා මා අතට දුන්නේ රත්නේ නැන්දාය. රටක් රාජ්ජයක් ලැබුනා සේ ඌව ගෙදර ගෙනා මම ඌ ට "චූටි" යයි නමක්ද තැබීමි. ඌ ගෙන ඒමට මුල් උන නිසා මල්ලිලාගෙන්ද මට ලැබුනේ අප්‍රමාණ ප්‍රසාදයකි. තාත්තාගෙන්ද නිහඬ ප්‍රාදයක් හිමි වූ බව කිව යුතුය :). ඌ ටිකක් ලොකු වන තෙක් රෑට වාසය කළේ අපේ නිල නිවසේ කුස්සියේ නිසා, උගේ බහිස්රාවී අවශ්‍යතා සඳහා යොදා ගත් වැලි තාච්චිය දිනපතා අස් කිරීමට අපි වග බලා ගත්තේ බැඳ ගත්ත බෙරේ ගැසිය යුතු නිසාය.

කල් යත්ම චූටි ගේ නාටු ගතිය අඩුවී හොඳින් වැඩුණු බෝල බළලෙකු බවට පත්විය. අපේ ගෙදරට දෙවැනි සුරතලා එන්නේ මේ අතර වාරයේය. කුමක් හෝ වැඩක් කරගන්නට කාර්යාලයට පැමිණි "දම්පහල" ප්‍රදේශයේ අයෙක් අපේ නිල නිවසේ මිදුලට ත් ගොඩ වැදුනේ අමුත්තෙකුද අතැතිව ය. ඒ අමුත්තා දවස් ගණනක වයස දෙමුහුම් බලු පැටියෙකි (ඔහු කිව්වේ එහෙමය. ඇත්තෙන්ම එය සැබෑවක් විය යුතුය). ඌ ට තිබුනේ දිලිසෙන කළු පැහැයකි. ගෙල, පපුව හා නැට්ටේ අග පමණක් සුදු ය. අඟල් 2 ක් පමණ දිග මයිල් ය. ලස්සනේ බැරිය. මෙවර අම්මාගේ කැමැත්ත ජය ගන්නට අපි තිදෙනෙක්ම වූ නිසා වැඩේ ඉක්මන් විය. තාත්තාද අම්මා ඉදිරියේ බොරු නොකැමැත්තක් පෙන්නුවාට හිත යටින් එක පයින් කැමති බව දන්නේ මමය. අන්තිමේදී බලුපැටියා ට 500 ක් ද ඌ ට පෙව්වා යයි කිවූ ඇන්කර් පැකට්ටුවට ත් ඇතුළුව 600 ක් ගෙවා ඌ අපේ බාරයට ගත්තෙමු.




උගේ නම "ඩිකී" ය. ඌ හරිම හුරතල් සෙල්ලක්කාරයෙකු විය. චූටි නම් ඩිකී ගේ පැමිණීමට එතරම් මනාපයක් දැක්වූයේ නැත. චූටි දකින විට ඩිකී සෙල්ලමට සැරසුනත් චූටි කළේ නියපොතු පුප්පා හයියෙන් පිඹීම ය. ඒ වෙලාවට ඩිකී උගේ දිහා බැලුවේ "ඇයි වදේ, මම අහවල් එකක් කරාටද?" අසන්නාක් මෙනි. මේ කාලයේදී (අවු. 8 දී) මට ගමේ පාසලෙන් අස් වී ප්‍රසිද්ධ බාලිකා පාසලක ට යාමට සිදු වූ බැවින් මට නේවාසිකාගාරයේ  නතර වීමට සිදු විය. මම ගෙදර එක්ක නොඑන සති අන්තවල ගෙදර අය පැමිණ මා බලා යාම සිරිතකි. එවිට මම විමසන්නේ ඩිකී ගැනය. දවසක් ඩිකී දැන් ලොකුදැයි මල්ලිගෙන් ඇසූ විට ඔහු කීවේ "ඔව්, දැන් ඌ ට කකුලක් උස්සලා චූ දාන්නත් පුළුවන්" යනුවෙනි.

අපේ තාත්තාට ඉන්පසු මාරුවක් ලැබෙන්නේ හම්බන්තොට ටය. චූටි ද ඩිකී ද අප සමග හම්බන්තොට ආහ. වෙනදා සති අන්ත වල කටුරොද යන මම ඉන්පසුව සති අන්ත වල ගියේ හම්බන්තොට ය. කාර්යාලය ද නිල නිවස ද පිහිටා තිබුනේ මුහුද ට ඉතාමත් නුදුරෙනි. තනිවම බීච් ගොස් වතුරේ නටා වැලි දවටාගෙන ගෙදර ඒම ඩිකී ගේ සිරිතක් බවට පත් විය. එහෙත් උගේ දඩාවතේ යාම ඌටම නරකට හිටියේ ය. ටවුමේ බලු රැළ ට වැටී මොකක්දෝ ලෙඩක් හදාගෙන එයින්ම උගේ ජීවිතය අවසන් වී ඇත (මම හිටියේ නේවාසිකාගාරයේ නිසා මම එය දුටුවේ නැත).

චූටී ගේ කල්කිරියාව ද ඉතාම නරක අතට හැරෙන්නේ මේ කාලයේදී ය. කම්මැලි අලයක් බවට පත් වූ චූටී, බහිස්රාවී කටයුතු නිවස ඇතුලේම ඉටු කරගන්නට පටන් ගත්තේය. අන්තිමේ ඔපීසියේ ඩ්‍රයිවර් අංකල් "කෝ ඕකව මට දෙන්න" යයි ඉදිරිපත් වී ඌ ගෙන ගොස් හේනකඩුව පන්සලේ තබා විත් තිබුණි. දැන් මා කියන දෙය කිසි කෙනෙක් විශ්වාස නොකිරීමට ඉඩ ඇතත් එය එලෙසින්ම සිදු වූ බවට සහතික වෙමි. දිනක් මහ රෑ "ඥාව්" හඬක් ඇසී දොර ඇර බැලූ අපට දකින්න ලැබුනේ දූවිලි නාගෙන හෝන්දු මාන්දු වී සිටි චූටී ය. හේන කඩුවේ සිට හම්බන්තොට ට (වාහනයකින් නම් පැයක දුර) ඌ ඉව පාර ඔස්සේ පැමිණ ඇත. මුල සිටම චූටී ට කැමැත්තක් නොදැක්වූ අම්මා, වහාම ඌ ව ගෙට ගත්තා පමණක් නොව ඌ මැරෙන තුරුම නැවතත් කාටවත් ගෙන යන්නට නොදුන්නාය. කෙසේ නමුත් චූටී ට මගේ තිබූ ආදරය නැති බංගස්තාන වී ගියේ, වැසි දිනක වහලෙන් වැටී අප අතට පත් වූ පුංචි ලේන් පැටව් දෙන්නා ට ෂොට් එක දීමෙන් පසුවය. පසු කලෙක චූටී ගේ මරණය ද ඩිකී ට සමාන ආකාරයෙන්ම සිදු විය (එයද මම දුටුවේ නැත).

මෙකල අපිට මාළු ටැංකි පිස්සුවක් ද සෑදී තිබිණි. මාළු ටැංකිය අස් කරද්දී මගේ අතින් එයට බඩු හම්බ වුනු නිසා මාළුන්ට යන එන මං නැති වූයෙන් උන් ටික තාත්තාගේ යහළුවන් අතට පත් විය.

හම්බන්තොටින් අප පැමිණියේ බෙලි අත්ත ට ය. ඒ ආවේ කිසිම සුරතලෙක් නැතුව හිස් අතිනි. ඒ වන විට මගේ පාසල තිබූ නගරය ආසන්නයේ අපේම නිවසක් තනා තිබූ නිසා මම නේවාසිකාගාරයෙන් ඉවත්ව එහි නැවතුනෙමි (එසේ කළ හැකි වූ යේ අපේ ලොකු නැන්දලාගේ ගෙදර තිබුනෙත් එකම වත්තේ නිසා ය). මේ කාලයේ මගේ තනියට හදා ගන්නට ගත් ලේනා (ඌ ට නමක් තිබුනේ නැත) නැන්දලා ඇතුළු සියලු දෙනාම හපා කන්නට පටන් ගත් නිසා උගේ විශාල කූඩුව බැල්කනියේ තබා දොර ඇර ඌ ට යන්නට ඉඩ හැරියෙමු.

ඒ කාලය වන විට මම උ. පෙළ ආරම්භ කර තිබූ බැවින් තාත්තලාද නිල නිවස ට වඩා අපේ ගෙදර කාලය ගත කළහ. ලේනාගෙන් හිස් වුන කූඩුවට පැමිණියේ ලව් බර්ඩ්ස් ජෝඩු කිහිපයකි. උන් නම් බොහෝ කාලයක් පැටවුන්ද සදමින් එහි විසූහ.

ඉන්පසුව අප නිවසට පැමිණියේ පොමනේරියන් බ්‍රෑන්ඩ් එකේ (ගැහැණු) බල්ලෙකි. ඌ අපේ ගෙදරට ගෙනාවේ තාත්තාය. සාමාන්‍යයෙන් අපේ තාත්තා ගේන බල්ලන්, හොඳ බලු ගතිගුණ ඇතුව නොහැදෙන බව පවුලේ පිළිගත් මතයකි. තාත්තා ගෙදරට ගෙනෙන  බල්ලන්ට සැරක් කියා නාමයක් පිහිටන්නේ නැත. කරන්නෙම ගම වටේ කරක් ගසන එකය. වත්තට එන අනෙක් බල්ලන් එළවීම සාමාන්‍ය බල්ලෙකුගේ සිරිත වුවත් අපේ ගෙදර බල්ලන් කරන්නේ උන් එක්ක සෙල්ලමට යන එකය.


"ෂෙරී" නම් වූ මැය ඉවක් බවක් නැතුව ගමේ කරක් ගැසීමට පටන් ගත් බැවින්ද විශේෂයෙන්ම උගේ ජෙන්ඩර් එක සුබ නැති බැවින්ද ඌ ගෙනා දිහාටම ගිහින් දීමට අපට සිදු විය. ඉන්පසුව නම් උගේ හැසිරීම හොඳ අතට හැරුණු බව අපට ආරංචි විය. එහා ගෙදර ලොකු නැන්දලාට බලු පැටියෙක් උවමනා වී තාත්තා කොහෙන්දෝ එකෙක් හොයාගෙන ගෙදර ආවේය.  ඉක්මනින් නැන්දාගේ පුතාට කතා කළ අම්මා කීවේ අපේ තාත්තා බලු පැටියා එහාට ගෙනත් දෙන්න කලින් ඇවිත් ඌ රැගෙන යන ලෙසය. එය එලෙසම ඉටු උන හෙයින් ඌ (බීනු) නම් හොඳට හැදී නැන්දාගේ ගෙදරත් අපේ ගෙදරත් දෙකම මුර කළේය. ෂෙරී සිටි කාලයේ දීම අපේ ගෙදරට කළුම කළු බැලලියක් ද කඩා පාත් වී සිටියාය. අපේ මල්ලී ඌ ට දැමූ නම "චක්නෝරිස්" ය.

ෂෙරී ත් නැතුව පෙට්ලස් වී සිටි කාලයේ අපේ ගෙවල් වලට නුදුරෙන් විසූ රානි නැන්දලා ගේ බල්ලා වූ "සීබා" අප නිවසට යාම් ඊම් පටන් ගත්තේය. ඒ නම් පුදුම බල්ලෙකි. බඩගින්නේ මළත් ඌ කෑම කන්නේ නෑයෙක් ගේ ගෙදරින් පමණි. රානි නැන්දලා දින කිහිපයක් ගෙදරින් පිට වී සිටියොත් ඊට අල්ලපු ගෙදර ඇන්ටි දෙන කෑම නොකා ඌ අපේ ගෙදර දුව එන්නේ හති දාගෙනය. ඉතින් ඇන්ටි ට මල අතේය. මූ කරපු අප්සට් ම වැඩේ මම පන්ති යන විට පස්සෙන් ඒමය. කොල්ලෝ හැරි හැරි බලමින් අප දෙදෙනා පසු කර බයිසිකල් පාගති. ලැජ්ජාවේ බැරිය. යන්න කිව්වාට අහන්නෙත් නැත. කිව්වා නාහන එවුන් සමග පාරේ වලි දාගන්නත් බැරිය. මමත් ඉතින් නොදුටුවා සේ යමි. හැබැයි සීබා වල් බලු ගැන්සියක් සමග සිටිනු බැරි වෙලාවත් අපි දැක්කොත් ඌ ට අම්බානකට ලජ්ජා සිතේ. පටස් ගා එතනින් මාරු වන ඌ සති ගානක් යන තුරු අපේ මූන බලන්නට එන්නේ නැත. ඒ වගේම ඌ ඉතාමත් හොඳ දරුණු ගනයේ ආරක්ෂකයෙකු බවද කිව යුතුය.



අවසානයටම අපේ ගෙදරට ආවේ "රොකී" නම් ලයන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙකි. ඌ නම් ගෙනාවේ මල්ලී ය. එහෙත් උගේ ගතිගුණ ද ෂෙරී ට නොදෙවැනි විය. ගාම්භීර කටහඬ ක් හිමිව තිබුනද ඌ ආසාවට බිරුවේ නැත. අම්මා නම් කීවේ "මොන ෂෙපර්ඩ් ගෙනාවත් ඔච්චර තමා" කියාය. අවසානයේ ඌ ටද උන්හිටි තැන් බලා යාමට සිදු වූයේ බල්ලන් බලා ගැනීමට අපේ ගෙදර බලු බල්ලෙක් නැති වූ බැවිනි. මල්ලිලා දෙදෙනාම නිවසේ නැත. මම රටෙත් නැත. සුරතලුන් ඉල්ලා නහයෙන් අඬන්නට කෙනෙකුත් නැත. තාත්තාට හිතුනොත් කවදාහරි තවකෙක් හදා ගනු ඇත. එහෙත් ඌ ටද බලු ගතිගුණ නොපිහිටන බවට සැක නැත.

Saturday, March 3, 2012

එකට දෙක - රාජාවලිය XIII


ඔයාලට මතක ඇති පහුගිය ලිපියෙන් අපි කතා කරා, ලංකා රාජ්‍යය ලම්භකර්ණ වංශය අතට ගිය හැටි. ඒ, වසභ රජතුමා රජ වීම නිසා. මේ වසභ රජතුමා ගේ පුතා තමයි "වංකනාසික තිස්ස". වක් වූ නහයක් තිබුණු නිසා ඔහුට වංකනාසික නම් උපසර්ගය ලැබුණු බවට මතයක් තියනවා. ඉතින් මේ  වංකනාසික තිස්ස කුමාරයා විවාහ වෙලා තියෙන්නේ ශුභ රජතුමාගේ (මතකයි නේද ශුභ දොරටුපාලයා රජ වුනු හැටි?) දියණියත් එක්ක. ඇයගේ නම "මහාමත්තා".  ශුභ රජු ට වසභ ගෙන් තර්ජන එල්ල වෙද්දී මේ කුමාරිකාව උළු වඩුවෙකුට බාර දුන්නලු හදාගන්න. ඉතින් ඇය හැදුනේ වැඩුනේ උළු වඩුවෙකුගේ දියණියක් විදියට. ඇය ශුභ රජුගේ දියණිය බව උළු වඩුවා වසභ රජුට හෙළි කරනවා. ඉන් පස්සේ තමයි වසභ රජු ඔහුගේ පුතාට ඇයව සරණ පාවා දෙන්නේ. කොහොමහරි අන්තිමේදී කුමාරියට විවාහ වෙන්න උනේ තමන්ගේ පියා මැරූ කෙනාගේ පුතාත් සමග.

ක්‍රි. ව. 110 දී වසභ රජතුමා මිය ගියාට පස්සේ වංකනාසික තිස්ස රජ වෙනවා. ඔහු ගේ කාලයේදී සොලී රටේ රජ කරන්නේ කරිකාල් නම් රජ කෙනෙක්. මේ සොලී රජු ඔහුගේ මිනිසුන් යොදවා සිංහලයන් දොළොස් දහසක් අල්ලා ගෙන සොලී රටට ගෙන යනවා. පාළු ප්‍රදේශවල සැඟවී සිට, සිංහලයින් අල්ලා අත් පා බැඳ රැගෙන ගිය මේ සොලී මිනිස්සු ක්‍රියා කරලා තියෙන්නේ බිල්ලන් විදිහට (මේ සොලී මිනිසුන් "බිල්ලා" නම් ගෝත්‍රයට අයත් බවත් ඒ නිසා පසුව "බිල්ලා" යන සංකල්පය බිහි වූ බවටත් මතයක් තියනවා). මේ ක්‍රියාව ඊට පෙර සිටම දීර්ඝ කාලයක් තිස්සේ රහසේ  සිද්ධ උනත් ඒ ගැන කවුරුත් ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ.

 ක්‍රි. ව. 113 දී වංකනාසික තිස්ස රජතුමා මිය යනවා. ඉන් පස්සේ රජ වෙන්නේ ඔහුගේත් මහාමත්තා ගේත් පුතා වන "ගජබා" රජතුමා (ක්‍රි. ව. 113 - 135). මේ ගජබා රජතුමා ට තිබුනා ලස්සන පුරුද්දක්. ඒ තමයි වෙස් වලාගෙන ගිහින් රට වැසියා එක්ක මුහු වෙලා ඔවුන්ගේ දුක සැප, ප්‍රශ්න ආදිය ගැන හොයන එක. එක දවසක් රෑ මේ විදියට නගරයේ සංචාරය කරද්දී රජතුමාට එක ගෙදරකින් ගැහැණියක් වැලපෙන හඬක් ඇහුනා. ඉතින් රජතුමා මොකද කළේ, ඒ ගෙදර දොරේ හුණු වලින් සලකුණක් යොදලා නැවත රජ මාලිගයට ගියපු එක. පහුවදා උදේ රාජ සේවකයන් ගෙන්වලා කිව්වා අහවල් ඉසව්වේ, හුණු වලින් සලකුණු කළ ගෙදර සිටින ගැහැණිය කැඳවා ගෙන එන්න කියලා. කලින් දා රාත්‍රියේ වැළපුණු හේතුව ඇහුවම ඇය කිව්වේ, වංකනාසික තිස්ස රජුන්ගේ කාලයේ ඇගේ පුතුන් දෙදෙනා බිල්ලන් විසින් රැගෙන ගිය බවත් ඔවුන් සිහි වී හැඬූ බවත් ය.

මේ සිද්ධිය නිසා කළකිරුණ ගජබා රජතුමා, තම පියාගෙන් ඉෂ්ට නොවුණු යුතුකම් තමන් විසින් ඉෂ්ට කරන්න හිතා ගත්තා. එහෙම හිතලා නීල මහා යෝධයා ඇතුළු සේනාවකුත් එක්ක සොලී දේශයට පිටත් වුනා. ඒ කාලය වෙද්දී සොලී දේශයේ රජ කළේ කරිකාල් රජුගේ පුත් "නාලන්කිලි" රජතුමා.  ඔහු සමග සටන් කොට සිංහලයින් නිදහස් කරගෙන එයින් නොනැවතී, සිංහලයින් එකාට එක ගානේ හිලව් වශයෙන් සොලින් දොළොස් දහසක්ද රැගෙන ලක්දිවට එන්න ගජබා රජතුමා සමත් උනා. මේ නිසා ගජබා රජතුමා "එකට එක" නොකර "එකට දෙක" කරපු රජ කෙනෙක් :)

ගජබා රජතුමා සොලී රටෙන් පත්තිනි දේවියගේ සලඹ ත් පැහැරගෙන ආවලු. ආපසු එන ගමනේදී නවගමුව ප්‍රදේශයේ නැවතිලා රැය පහන් කරද්දී  ඒ සළඹ නා ගසක අත්තක් උඩ තැන්පත් කරා ලු. උදේ බලද්දී එය නාග කන්‍යාවන් විසින් පිරිවරා ගෙන සිටපු නිසා එතන නවගමුව පත්තිනි දේවාලය ඉදි කලා ලු. එය කොයි තරම් දුරට සත්‍යද කියලානම් දන්නේ නැහැ.

ඉතින් මේ ගජබාහු රජතුමාගෙන් පස්සේ, ඔහුගේ බිරිඳගේ පියා වන "මහල්ලකනාග" රජතුමා අවුරුදු 6 ක් (ක්‍රි. ව. 135 - 141) රජකම් කරනවා. ඊටත් පස්සේ රජ වෙන්නේ මහල්ලකනාග ගේ පුත් (ගජබා රජුගේ බිරිඳගේ සොහොයුරු) "භාතික තිස්ස" (ක්‍රි. ව. 141 - 165). භාතික තිස්සගෙන් පස්සේ ඔහුගේ බාල සොහොයුරු "කනිට්ට තිස්ස" (ක්‍රි. ව. 165 - 193) ත්  ඉන් පස්සේ කනිට්ට තිස්ස ගේ පුත් "ඛුජ්ජනාග / චූලනාග" (ක්‍රි. ව. 193 - 195) ත් රජ වෙනවා.

ඊ ළඟ රාජාවලිය ලිපියෙන් අපි කතා කරමු මේ පෙළපත ඉදිරියට යන හැටිත්, උතුම් රජ කෙනෙක් දාන පාරමිතාව පිරූ හැටිත්.
Related Posts Plugin for WordPress, Blogger...