Friday, September 28, 2012

එරන්දතියදෝ මෙදිගැස





අනෝතප්ත විල අභියස - සුවඳ කොකුම් තවරා ඇස
උනා නීල පුන් මුහුලස - වලා රොදක් මෙනි වරලස 
පෙලා මත් බිඟුන්, මදහස - සලා කැලුම් දෙන මියුලැස
සරා සඳ සෙ පායන යස - එරන්දතිය දෝ මෙදිගැස ?



ප. ලි.

අද ඉඳන් "කවියට කවියක්" යටතේ අලුත් වැඩක්. බලමු හරි යාවිද කියලා. මේ කවියට කවියකින්ම පිළිතුරු දෙන්න කැමති කවුද?බ්ලොග් අවකාශේ ඉන්න බහුතරයක් කවි ලියන  අය නේ. නැති උනත් කමක් නෑ කතාවක් වගේ කවියක් හරි ලියන්නකෝ. පිළිතුරු කවි වලට නැවතත් පිළිතුරු දීමේ ඉඩකඩ ඇත. කවියෙන් බැන ගැනීමට අවශ්‍යනම් එයටත් ඉඩකඩ ඇත :) 


එහෙනම් පටන් ගමුද?

ප. ප. ලි.

කවි පද 4 ක් ම අවශ්‍ය නැත. එකක් දෙකක් උනත් කම් නැත.

කවි ලියන අයට මල බැගින් තෑගි ලැබෙනු ඇත :)

Tuesday, September 18, 2012

සහෘද නුඹ වෙත ආදරයෙන් ලියමි...



හ්ම්ම්...පහන්යාය ට අවුරුද්දයි. අවුරුද්දේ උපන්දිනේට තමන්ට උදව් කරපු අය වගේම ලඟින් ඉඳන් දිරි දෙන අයව මතක් කරලා ස්තුති කතාවක් කරන එක බ්ලොග් ලෝකයේ සම්ප්‍රදායයක් වෙලා. ඒ වගේ ලස්සන සම්ප්‍රදායවල් අකුරටම පිළිපදින්න මමත් කැමතියි :).

මම බ්ලොග් ලියන්න ගත්තේ ලඟදි උනාට ඉස්සර ඉඳලම සිංහල බ්ලොග් කියවලා තියනවා. පුරුද්දක් විදියට නෙමෙයි. ඉඳලා හිටලා. දුමී ගේ කට කහන කතා, හිස් අහස, අතීතයෙන් අහුලන මතකයන් සහ බට්ටි ඒවායින් සමහරක්.

ඉතින් ඒවා කියවද්දී මගේම බ්ලොග් එකක් හදන්න ආසාවක් ආවත් ඒක ටිකෙන් ටික පහු උනා. අන්තිමට කොහොම හරි කල් යල් බලන එක නවත්තලා එකක් හදලා දැම්මා. මුලින්ම සයුරු (එයාට මේ නම දැම්මේ "එල කොල්ලා") එක්ක එකතු වෙලා නමක් හිතලා, හරිම සිම්පල් ටෙම්ප්ලේට් එකක් දාලා මුල්ම පොස්ටුව හැටියට "පහනින් පහන් සිය ගනනක්" කියලා කවි ටිකක් දැම්මා. මේ ඔක්කොටම පැය 2 ක් යන්න ඇති.

ඉතින් ඒක දාලා හැරෙන්න උනේ නෑ කමෙන්ටුවකුත් ඇවිත්. ඒකත් කවියක්. ඔන්න ඉතින් මට මුල්ම කමෙන්ටුව ලැබුනේ බට්ටියා ගෙන් :) ඊ ලඟට පහන්යාය පැත්තේ ආවේ මධුරංග මලයා. මෙයා තමයි මුල්ම ෆලෝවර් උනෙත්. මූණු පොතේ බ්ලොග් ගෘප් එක ගැන, සින්ඩි ගැන එහෙම කියා දීලා පහන්යාය ප්‍රමෝට් කරන්න සෑහෙන උදව්වක් දීපු කෙනෙක් තමයි අපේ මධු මල්ලි.

ඉන් පස්සේ ඉතින් පහන්යාය දිගටම දල්වාගෙන යද්දී ගොඩක් හොඳ යාළුවො තොගයක්ම හම්බ උනා. ඒ අය අතරේ සෙන්නා, දයානන්ද රත්නායක, චතුරංග, ගැමියාමන්ඩි පාල, සුමිත් නිරිඇල්ල හැමදාම වගේ ඇවිත් හරබර කමෙන්ට් වලින් සංග්‍රහ කරලා ගියා. සමහර වෙලාවල් තිබුණා මම ලිපියක් ලියලා මේ අයගේ කමෙන්ට්ස් වැටෙනකන් බලාගෙන ඉඳපු. 

ඒත් එක්කම හැමදාමත් වගේ පහන්යාය ට එලිය දෙන දිනේෂ් මල්ලි (ඉස්සර මෙයා හරිම උනන්දු ළමයෙක් :), අසරණයා, ඔබ නොදුටු ලොවක්, ලහිරු,  හරී, අපි වගේ මල්ලි, අනූ, හිතුවක්කාරී,රෝස කුමාරි, රූ, අයිස් නගා, බින්දි අක්කා, පොඩ්ඩි...මේ අයව කොහොම අමතක කරන්නද? 

ඒ විතරක් නෙවෙයි පස්සේ කාලෙකදි හමු වුනු  මී ගොඩයා, තොටියා අයියා, හිරු තරු ඇතුළු ඔක්කොම ආකාස වස්තු, තරියා, වී අයියා, ඇපලා, සිඳු සහ ලිහිණි ලාත් මතක් කරන්න ඕන. ඇයි එතකොට හැමදාම අන්තිම වෙන "එල කොල්ලා" ත් ඉන්නවා. අලුත් යාළුවො ගොඩක් ඉන්න නිසා මෙතන ගොඩක් නම් මග ඇරිලා ඇති. තරහ වෙන්න එපා හොඳේ. ඒ හැම කෙනෙක්ම මට එක වගේ වටිනවා. 

අවුරුද්දක් අවසානේ මගේ බ්ලොග් එක දිහා ආපහු හැරිලා බැලුවම ඇත්තටම සතුටක් දැනෙනවා.  කවි, ඉතිහාසය, විද්‍යාව, පුංචි රස කතා, අතීත මතක මේ හැම දේකම අච්චාරුවක් තමයි මගේ බ්ලොග් එක. ඉතිහාස පාඩමේදී නිදාගන්න කට්ටිය පුංචි කතා අහන්න ඇහැරිලා ඉන්නවා. කවියක් දකින්නත් අකමැති කට්ටිය විද්‍යාව පාඩමට උදෙන්ම එනවා :) නානත්ත කායා නානත්ත සංඥා කිව්වලු (හෝව්..බය වෙන්න ඕන නෑ...බුද්ධාගම පාඩම් උගන්නන්න මගේ කිසිම අදහසක් නැහැ :). එක එක්කෙනා එක එක විදිහයි. විවිධත්වය කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒ විවිධ රුචිකත්වයන්ට හරියන විදිහට ලිපි ලියන්න මම ඉදිරියටත් උත්සාහ කරනවා.

මට මේ ලිපිය මීට වඩා කලින් ලියන්න ඕන වෙලා තිබුනේ. ඉතින් මම හිතාගෙන හිටියා හිට්ස් 10000 දී මේක ලියනවා කියලා. ඒත් මගේ බ්ලොග් එකට හිට්ස් 10000 සම්පූර්ණ වුනේ ආදරණීය ඔබා මාමා අපෙන් වෙන් වෙලා, ඒ වෙනුවෙන් දාපු ලිපියෙදි. අපි හැමෝගෙම බ්ලොග් වලට කිසිම ආඩම්බර කමක් නැතුව ඇවිත් හැමෝම හිනස්සලා ගියපු ආදරණීය ඔබා මාමටත් හදවතින්ම ස්තුතියි.

සමාන හදවතක් ඇත්තා සහෘදයා ය. සහෘදයෙක් ලැබීමට තවත් සහෘදයෙක් නිසැකවම පින් කර තිබිය යුතුය. මන්ද යත් යමෙකුට සහෘදයෙක් තරම් වටිනා තවත් කිසිවක් නොමැති බැවිනි. ඉතින් ඔබ වැනි සහෘද පිරිසක් ලැබීමට මා කළ පින් මේ යැයි කීමට මම ද නොදනිමි.



                        FRIENDS ARE SIBLINGS THAT GOD FORGOT TO GIVE YOU

Wednesday, September 12, 2012

මා දුටු තර්ජිනී



දවසක් මාත් මගේ කැම්පස් මිතුරියකුත් ගල්කිස්ස පැත්තේ පුංචි පහේ සාප්පු සවාරියක් ගියේ සති අන්තය ප්‍රයෝජනවත්ව ගත කරන්න ඕන හින්දයි :) ඉතින් එක්තරා ප්‍රසිද්ධ රෙදි පිළි සාප්පුවක රෙදි තෝරමින් ඉන්න අතරේ මිතුරිය මෙහෙම කියනවා ඇහුනා.

"අම්මෝ...අර බලන්න අරයගෙ උස..."

මටත් ඉබේටම ඒ පැත්ත බැලුනා. කතාව ඇත්ත තමයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා අඩි දෙකක් විතර උස ගැහැණු කෙනෙක් ඇඳුම් තෝරමින් හිටියා. ඒ තරම් උස කෙනෙක් මම ඒ දැක්කේ මුල් වතාවට. වැඩිය ඒ පැත්ත බලන එක හොඳ දෙයක් නෙමෙයි නිසා ආපහු බලන්න ගියේ නැහැ. ඒ සිද්ධිය එහෙමම අමතක වෙලා ගියා.

තවත් දවසක්...

ඒ 2007 අවුරුද්ද වෙන්න ඕන. අපි කටුබැද්දේ ඉඳලා කොළඹ ට්‍රේනින් ගියපු කාලය. ඔෆිස් ඇරිලා එන වෙලාවට බස් වල තියෙන්නේ පුදුම තදයක්. බම්බලපිටියේ ඉඳලා කටුබැද්දට එනකන් තියන ට්‍රැෆික් එකත් එහෙම තමයි. එහෙම ඔෆිස් ඇරිලා එන වෙලාවක අපි හිටපු බස් එකට නැග්ගා උසම උස ගෑනු කෙනෙක්. මට එතකොටම මතක් උනා මේ අර එදා ඇඳුම් කඩේදී දැක්ක කෙනාමයි කියලා. එදා ඇය ඇඳගෙන හිටියේ ක්‍රීඩා ඇඳුමක් වගේ එකක්. එයා බස් එක ඇතුලේ හිටගෙන හිටියේ හරිම අපහසුවෙන්. ඇයගේ උසට බස් එක නොගැලපුන නිසා. පුළුවන් තරම් කොන්ද නමාගෙන අපහසුවෙන් සෙනග ගොඩේ මිරිකිලා හිටපු ඇය ගාවට ගියපු කොන්දොස්තර, බස් එකේ ඇතුලට යන්න කියලා ඇයට උපදෙස් දෙනවා ඇහුනා.

ඒ සද්දේ අස්සෙන් "I can't speak Sinhala" (ඒ මට ඇහුන හැටි) කියලා ඇය කියනවා ඇහුනා. කොන්දොස්තර ඇයට නොතේරෙන සිංහලෙන් කියවමින් බස් එකේ "space management" කරද්දී ඇය, කොන්දොස්තරට නොතේරෙන ඉංග්‍රීසියෙන් (ඒ මට හිතුන හැටි) යමක් පැහැදිළි කරන්න උත්සාහ කරා. මේ නිසා එතන ඇති උනේ පුංචි කලබැගෑනියක්. ඒ අතරේ මගීන් ගොඩක් දෙනෙක් "උස කෙල්ල" දිහා තුෂ්නීම්භූත වෙලා වගේ බලාගෙන හිටියා. අන්තිමේදී ඇය කරේ ඊ ළඟ හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම බැහැලා ගියපු එක. ඊට පස්සෙත් කොන්දොස්තර අයියා වටේ පිටේ ඉඳපු කොල්ලෝ ටිකක් එක්ක "ඇගේ උස" ගැන උපහාසයෙන් කතා කළා. ඒ වෙලාවෙත් මට හිතුනේ අසාමාන්‍ය උස නිසා ඇය කොයි තරම් අපහසුවට පත් වෙනවාද, කොයි තරම් මිනිස්සුන්ගේ අනවශ්‍ය අවධානයට ලක් වෙනවාද කියන එක. ඉතින් ඒ සිද්ධියත් ටික දවසකින් අමතක වෙලා ගියා.

ඊට අවුරුදු දෙක තුනකට පස්සේ තමයි මට පත්තරේක ලිපියක් කියවන්න හම්බ උනේ ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ගැන. ඇය "තර්ජිනී සිවලිංගම්". යාපනයේ ඉපිද ක්‍රීඩා පුහුණුවීම් නිසා කොළඹ ආ කෙනෙක්. ඒකෙ තිබුන පින්තූරේ දකිද්දී මේ අර මම බස් එකේදී දැකපු කෙනා නේද කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

"එහෙනම් ඇය ලංකාවට දිනුම් පිට දිනුම් ගෙනෙන නෙට් බෝල් ක්‍රීඩිකාවක්". අද ඇය නිසා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ආසියාවේ අංක එකේ ස්ථානය ලබාගන්න සමත් වෙලා. ඇගේ "ගෝල ගැනීමේ නිරවද්‍යතාවය" 100% ක්. 2009 ආසියානු දැල් පන්දු අවසන් තරඟයේ ගෝල 77 න් 74 ක් ම ලබාගෙන තිබුනේ ඇය යි.

ඒ වෙලාවේදී මට දැනුනේ සතුටක්ද සැහැල්ලුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ දෙකේම මික්ස් එකක්දත් මන්දා. කොහොමහරි මට හිතුනේ එකම එක දෙයයි. ලෝකයාට ප්‍රශ්නයක් වුන, ඔවුන් විසින් උපහාසයට ලක් කළ, ඇයව අපහසුතාවයට පත් කළ "ඇගේ උස" ම ලෝකයා ගෙන් පිදුම් ලබන තත්ත්වයකට ඇයව ගේන්නට හේතු වෙලා තියන හැටි...කොයි තරම් අපූරුද?




ඒ උස නිසා ඇයට කොල්ලන් විහිලු කළ හැටිත් පාසලේදී, පාරේදී අපහසුතාවයටත් උපහාසයටත් ලක් වූ හැටිත් ඇය ලිපියේ කියලා තිබුණා. මමත් එවැනි සිද්ධියක් ඇස් දෙකෙන්ම දැක තිබුන නිසා ඇය ඒ නිසා විඳින්නට ඇති මානසික පීඩාව කොයි තරම්ද කියලා හිතාගන්න පුළුවන් උනා. ඒත් "තර්ජිනී" අද ලංකාවටම ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි, ලෝකයාගේ උපහාසයට ලක් වෙමින්, ඒ උපහාසයට හේතු වූ කරුණම තමන්ගේත් රටේත් යහපත උදෙසා යොදා ගැනීමට කටයුතු කළ ඇය, මනුෂ්‍ය සංහතියටම ආදර්ශයක් නොවේද?

Tuesday, September 4, 2012

කෑම්පින් ගිය කට්ටිය

ඔන්න අද පොඩි වෙනසකටත් එක්ක ගණනක් හදන්න දෙන්න හිතුනා කට්ටියට.  මේක ටිකක් විතර අර අයි කිවු කියන ජාතියේ ප්‍රස්නයක්. බලමුකෝ...



ඔන්න එක දවසක් යාළුවො කට්ටියක් ගියාලු කෑම්පින්. දන්නවනේ කෑම්පින් යන හැටි? කෑම උයාගන්න බඩු මුට්ටු, ටෙන්ට්, ගිනි පෙට්ටි, කඹ එහෙම අරගෙනනේ යන්නේ. ඉතින් මේ ගොල්ලෝ කළුවර වැටෙද්දී ටෙන්ට් එක ගහන්න හොඳ තැනක් බලලා එතන නැවතුනාලු. ගිනි මැලයක් එහෙමත් පත්තු කරගෙන, කාලා බීලා සිංදුවකුත් කියාගෙන ඉන්නකොට එක්කෙනෙක්ට මතක් උනාලු එයාට කෑමෙන් පසු බෙහෙත් පෙති දෙකක් බොන්න තියනවා කියලා.

වැඩේ තියෙන්නේ පලවෙනි පෙත්ත බීලා හරියටම විනාඩි 15 කට පස්සෙලු දෙවැනි පෙත්ත බොන්න තියෙන්නේ (දැන් ඉතින් මගෙන් අහන්න එපා ලෙඩේ මොකක්ද කියලා). මේගොල්ලෝ කොච්චර අල්පේච්ච ද කියනවනම් එකෙක් ගාවවත් ඔරලෝසුවක් නැහැලු වෙලාව බලාගන්න. බාහිර සම්බන්ධතා අත අරින්න ඕන නිසා ෆෝන් එහෙමත් ගෙදර තියලලු ඇවිත් තියෙන්නේ :).

කෑම බීම, ඇඳුම් ඇරෙන්න සන්තකේට තියෙන්නේ මෙච්චරයිලු.

කඹ දෙකක් - මේ කඹ දෙක හැම අතින්ම සමානයි. එක කඹයක් ගිනි තිව්වොත් ඒක පිච්චිලා ඉවර වෙන්න හරියටම පැයක් යනවලු. ඒක දැනගත්ත හැටි අහන්නත් එපා. කොහොමහරි එයාලා ඒක දන්නවලු. හැබැයි මේ කඹ දෙකේ ඝනත්වය, දිගත් එක්ක ඒකාකාරී නැතිලු. ඒ කියන්නේ මුළු කඹේ පිච්චෙන්න පැයක් ගියාට අපිට හිතන්න බැහැ ඒකෙන් බාගයක් පිච්චෙන්න යන්නේ පැය බාගයයි කියලා.

දැන් මොකෝ කරන්නේ කියලා කට්ටියම දහ අතේ කල්පනා කරනවලු. ඒ අස්සේ එකෙක්ට එක පාරට නියම අයිඩියා එකක් ආවලු අර කඹ දෙක පාවිච්චි කරලා හරියටම විනාඩි 15 ක් මැනගන්න හැටි.

ඔයාලට හිතන්න පුලුවන්ද ඒ කොහොමද කියලා. දන්නවනම් කමෙන්ට් එකකින් කියලා යන්න.


ප. ලි. මේක මට චැලේන්ජ් එකක් විදිහට හම්බු උනේ මේ ලඟදි. මම එය සාර්ථකව විසඳූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමි. හිහි.
ගැටළුවට අයිති ඔය කඹ දෙකේ කෑල්ල විතරයි. ඉතුරු ටික ගොතන ලදී.
Related Posts Plugin for WordPress, Blogger...