Monday, December 31, 2012

සීතල හිම රටේ

අපිටනම් තාම දෙසැම්බර් 31. ඒත් ඔයාලා වැඩි දෙනෙක්ට දැනටමත් 2013 නව වසර ලබලා. එහෙනම් සුබ නව වසරක් වේවා ඔක්කොටම.

පහුගිය දවස් ටිකේම බ්ලොග් පැත්ත පළාතේ එන්න උනේ නෑ. ගොඩක් ඒවා කියවන්න උනෙත් නෑ ඉතින් :( . නිශාන්තය අහන්න යන්නත් බැරි උනා නේ. සෙමෙස්ටරයක් ඉවර වෙලා ලැබෙන පුංචි නිවාඩුව හින්දා මේ ටිකේම ගෙදරක නෑ. ගෙට් ටුගෙදර්ද පාටිද අරවද මේවද වැඩ කෝටියයි. ඇයි මේ දවස්වල පළාතම හිමෙන් වැහිලා හින්දා ස්ලෙඩින්, ස්කේටින් එහෙමත් යන්න එපැයි.

ඒක කිව්වම මතක් උනේ, සරත් සෘතුවේ පින්තූර දැම්මා වගේ සිසිරයේ පින්තූර ටිකකුත් දැම්මොත් හොඳයි කියල හිතෙනවා. ලියන්න තියන කම්මැලි කමට එහෙම නෙමෙයි ඔන්න ;)



හිම වැටෙනා....සුදු කන්ද දිගේ...







ඔය තියෙන්නේ අපේ ගෙයි පිටිපස්සේ පුංචි මිදුල් කෑල්ලේ හිම පිරිලා තියන හැටි.



මේ ඉබ්බෝ වගේ ඉන්නේ කාර්...



හිම කතරක අතරමංව...කාඩිනල් කුරුල්ලා 



ආ මේ තියෙන්නේ එක්කෙනෙක් ස්ලෙඩින් ගිහින් කකුල් හතරෙන් ආපු හැටි :)



2012 අවුරුද්දේ තව ඉතුරු වෙලා තියෙන්නේ පැය කීපයයි. ලංකාවෙදි නම් මේ වෙලාවට 31 රෑ පෙන්නන හින්දි ෆිල්ම් එක බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඒක බලලා පළවෙනිදායින් බාගයක් ගෙවුනට පස්සේ තමයි ඇඳෙන් නැගිටින්නේ. මෙහෙනම් ජනවාරි පළවෙනිදා නිවාඩුයි. ඒත් ඉතින් හින්දි ෆිල්ම් පෙන්නන්නේ නැහැනේ ටී වී එකේ.

පළවෙනිදා නිවාඩු හින්දා කොහේ හරි කෑමකට එකතු වෙයි කට්ටිය සමහරවිට. අපේ අයට ඉතින් කෑමක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ නේ. හ්ම්ම්...හැබැයි ඉතින් කොච්චර කෑම තිබුනත් බීම නම් නෑ අපේ කට්ටියගේ ;) ඒකම ලොකු දෙයක් නේ. මොකද මන්දා මෙහාට ලංකාවෙන් ආපු හැම කෙනාම අමධ්‍යපයි. ඒවා නැති උනා කියලා පාටි අඩුවකුත් නෑ ඒවායේ විනෝදයේ අඩුවකුත් නෑ. හැම කෙනාටම එහෙම ඉන්න පුළුවන්නම් කොයි තරම් හොඳද කියල හිතෙනවා. අලුත් අවුරුද්දේ එක්කෙනෙක් දෙන්නෙක් හරි අමධ්‍යප වෙන්න හිතට ගත්තොත් ඒක ලොකු දෙයක්. :)

එහෙනම් ඉතින් හැමෝටම සියලු සිතුම් පැතුම් ඉටුවන, සිතුම් පැතුම් නැති අයට ඒවා ඇති වෙන,  සුබ නව වසරක් කියන ගමන් මාත් යනවා. ගිහින් එන්නම්. අලුත් අවුරුද්දේදී හම්බ වෙමු.

Wednesday, December 19, 2012

නොපිපී පරවුණ පුංචි කැකුළු මල්




පහුගිය  දවසක ඇමරිකාවේ පාසලක පුංචි ළමයි 20 ක් ඇතුළු විසි හය දෙනෙක් තුවක්කුවකින් වෙඩි තියලා මරලා දාපු ආරංචිය හැමෝම දන්නවා ඇති කියලා හිතනවා.වයස අවුරුදු පහත් දහයත් අතරේ පුංචි ළමයි ටිකකට කිසිම හේතුවක් නැතුව වෙඩි තියලා දාන්න තරම් මානසික ආබාධයක් තියන මිනිස්සුන්ව බිහි කරන්න මේ ලෝකේ කොයි තරම්නම් පිරිහිලාද කියලා හිතෙනවා .

එදා උදේ පාන්දර පොඩි එවුන්ව වෙනද වගේම ලස්සනට ලැස්ති කරවලා පාසල් බසයට නග්ගද්දී  ඒ පුංචි අත තමන්ගෙන් ගිලිහුනේ සදහටම බව ඒ දෙමව්පියන් හිතන්න නැතුව ඇති. ඒත් පැය කීපයක් යන්නත් කලින් "සැන්ඩි හුක්" ප්‍රාථමික පාසලේ වෙච්ච වෙඩි තැබීමක් ගැන ප්‍රවෘත්තිය ඔවුන්ගේ කනට වැටුනා. තමන්ගේ දරුවන්ට කරදරයක් නොවන්නැයි දෙවියන් යදිමින් පාසලට දුව ආ දෙමව්පියන්ට සිද්ධ උනේ පොලීසිය විසින් ලකුණු කර සීමාවට එපිටින් රැඳී ඉඳිමින් දරුවා නිරුපද්‍රිතව එලියට එනතුරු බලා සිටින්නයි.

එහෙත්...

විනාඩියෙන් විනාඩියට කාට හෝ කෙනෙකුට පාසල ඇතුලෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ ඔවුන්ගේ දරුවා මියගොස් ඇති බව දන්වන පණිවිඩය...




කිසියම් මානසික ආබාධිතයෙකු විසින් පුංචි ජිවිත විස්සකුත් ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හය දෙනෙකුත් බිලි අරගෙන තිබුණා.

ඇමරිකන් ඉතිහාසයේ දරුණුම කැළලක් බවට දැනටමත් පත් වී ඇති මේ සිද්ධිය ගැන තවමත් කතාබහ අඩුවක් වෙලා නැහැ.මේ අමානුෂික ක්‍රියාව කරලා තිබුණේ " ඇඩම් ලන්සා" නම් විසි හැවිරිදි තරුණයෙක්. ඔහු පාසලට කඩා පැනීමට මොහොතකට පෙර තමන්ගේ මවගේ මුහුණට වෙඩි තබා ඇයද මරා දමා තිබුණා. ඔහු එතනින් පිට වෙලා තිබුණේ මවගේ ආයුධ එකතුවෙන් තුවක්කු කිහිපයක්ම අරගෙනයි (ඔහුගේ මවද ආයුධ එකතු කරන්නියක් බව මෙහිදී විශේෂ කරුණකි). ළමයින්ට වෙඩි තැබීමෙන් පසු තම ජිවිතයද තොර කර ගැනීමට තරම් ඔහු සැළකිලිමත් වෙලා තිබුණා.

මීට ටික කලකට ඉහතදී මෙවැනිම පිස්සෙක් විසින් ඩාක් නයිට් රයිසස් නම් චිත්‍රපටයේ පළමු තිරගත කිරීමේදී සිනමා හලකට කඩා වැදී නරඹන්නන්ට ඉවක් බවක් නැතුව වෙඩි තැබුවා. මෙවන් ඛේදවාචක සිදු වන්නේ ඇයිදැයි යන්න වහා සොයා බැලිය යුතු කාරණයක්.

ඇමරිකාවේ සාමාන්‍ය මිනිසුන්ට ඇති ඉතාමත්ම ලේසියෙන් ගිනි අවි මිල දී ගැනීමේ පහසුකම සැලකිය යුතු ගැටළුවක් . අද හැම කෙනෙක් ලඟම ජංගම දුරකථනයක් තිබෙන්නා සේ තවත් ටික දිනකින් සාක්කුවේ ගිනි අවියක්ද නැතුවම බැරි අවස්ථාවකට ඇමරිකන් සමාජය එළඹෙනු ඇති. පුංචි වචන හුවමාරුවක් උනත් ප්‍රතිවාදියාට වෙඩි තබා තමාද වෙඩි තබා ගන්නා අවස්ථා ඕනා තරම් අසන්නට ලැබෙනු ඇති. අඩු තරමේ "මැෂින් ගන්" වැනි අවි වලටවත් සීමාවක් පනවයි නම් මෙවැනි සමූහ මිනී මැරුම් සංඛ්‍යාවවත් අඩු වීමට ඉඩ තිබේ.

එහෙත් ඒ ප්‍රශ්නයේ මුල නොව අන්තිම කොනයි.. මේ උදාහරණයම ගත්තොත් මිනීමරුවාගේ මව දෙස බැලූ විටද ඇගේද වරදක් ඇති බව පෙනේ. මා පිය දූ දරු සබඳතා අන්තයටම පිරිහී යමින් තිබෙද්දී, දරුවන් ග්‍රැෆික් සෙල්ලම් ලෝක වල තනි වී ප්‍රතිවාදී පිලට වෙඩි පිට වෙඩි තබා මරා දැමූ සතුරන් ප්‍රමාණය ගණන් කර සතුටු වෙන, ලෝකයක මෙවැනි මානසික ලෙඩුන් බිහි වීම අරුමයක් නොවේ.

ජනාධිපති ඔබාමා මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොරොන්දු වුවත් එය බොහෝ විට ප්‍රශ්නයේ අග කොන කපා දැමීමක් වනු ඇති. එසේ වෙයිනම් ඒකත් ලොකු දෙයකි. එහෙත් ඔහුගේ නෙතට කඳුලක් නැගුනේ බොරුවට නම් නොවේ යයි මම සිතමි.

"They had their entire lives ahead of them...birthdays, graduations, weddings, kids of their own......
  Our hearts are broken today..for the parents, grand parents, sisters and brothers of these little children... 
  May god bless the memory of victims...and in the words of scripture, heal the brokenhearted... and bind up  their wounds" - President Obama


Wednesday, December 5, 2012

ලෙයට ලෙය මුණගැසේ - රාජාවලිය XXV

ඔන්න එහෙනම් මගෙනුත් වලියක්. රාජා "වලිය" තවත් කොටසක් :)

                                                              ~~~~~~~~~~~~~



අපි ගිය පාර රාජාවලිය ලිපිය නැවැත්තුවේ දෙවන මිහිඳු රජතුමාගේ පුතා මිය ගිය එක ගැන කියලනේ. මේ හින්දා රජතුමා හිටියේ ගොඩක් කණගාටුවෙන්. සේරටමත් වඩා ලංකාවට අනාගත රජෙක් නැති වෙන නිසා. හැබැයි ඒ ලිපියේ අන්තිමට අපි කිව්වනේ මෙතන රහසකුත් තියනවා කියලා. අද බලමු ඒ රහස මොකක්ද කියලා.

දෙවන මිහිඳු රජතුමා රජ වෙන්නත් කලින් ඔහුට බිරිඳක් හිටියා ලු. පසුව ඇය වෙන් වෙලා ගියත් රජුට දාව පුතෙක් ඇයට ලැබිලා තියනවා. ඒත් මේ පුතාවත් පියාවත් එකිනෙකාට අඳුනන්නේ නැහැ. බිරිඳ රජුගෙන් වෙන් උනාට පස්සේ තමයි දරුවා ලැබෙන්න ඇත්තේ. මේ වෙද්දී ඒ පුත්‍රයා ලොකු වෙලා රාජකීය හමුදාවේ සේවය කරන දක්ෂ සෙබළෙක්. ඔහුගේ නම "උදය". දප්පුල සමග කරපු සටන් වලදීත් රජතුමාට බෙහෙවින්ම උපකාරී උනේ ඔහු. ඒ වෙනුවෙන් රජතුමා ඔහුට උසස් වීම් සහ තුටු පඬුරු දුන්නත් රජතුමා දැනගෙන හිටියේ නැහැ ඒ ඔහුගේ පුතෙක් බව. මේ විදියට දිගින් දිගටම උදයගේ දක්ෂතාව කැපී පෙනෙද්දී රජතුමාට ඕන උනා ඔහුගේ අලගිය මුලගිය තැන් හොයාගන්න. ඔන්න එතකොට තමයි රජතුමාට දැනගන්න ලැබුනේ ඒ තමන්ගේම පුතා බව.

ඉතින් රජතුමා වහාම උදය ව කැඳවනවා මාලිගාවට. කැඳවලා ඔහුගෙන්ම විස්තර දැන ගන්නවා. ඉතාමත් සතුටට පත් වෙන රජතුමා ඔහු තමන්ගේ පුතා බවට නිල වශයෙන්ම බාර ගෙන යුව රජ කමත් පිරිනමනවා. ඔන්න ඔහොමයි ප්‍රධාන අණදෙන නිලධාරී උදය, "උදය කුමරු" බවට පත් උනේ. ඉතින් කොහොමහරි ක්‍රි. ව. 807 දී දෙවන මිහිඳු රජතුමා මියගියාම රජ බවට පත් වෙන්නේ උදය රජතුමා (ක්‍රි. ව. 807 - 812).

මේ කාලයේදී රුහුණ පාලනය කරලා තියෙන්නේ "දාඨසිව" නම් පාලකයෙක්. ඔහුගේ පුතා "මහින්ද" කිසියම් හේතුවක් නිසා දාඨසිව එක්ක විරසක වෙලා අනුරාධපුරයට පැන විත් උදය රජුගේ රැකවරණය පැතුවා ලු. ඉතින් උදය රජතුමාත් මේ කුමාරයාට ඉඳුම් හිටුම් විතරක් නෙමෙයි කල් යද්දී තමන්ගේ දියණියත් සරණපාවලා දෙන්න තරම් කාරුණික උනාලු. ඉන් පස්සේ ඔවුන්ගේ ඉලක්කය උනේ රුහුණ ජයගැනීම. මේ සඳහා සේනාව මෙහෙයවන්නේ මහින්ද කුමරු. ඔහු මාමණ්ඩිය වෙනුවෙන් තමන්ගේ පියා එක්ක යුධ වදිනවා. යුද්ධයෙන් පරදින දාඨසිව ඉන්දියාවට පලා යද්දී මහින්ද කුමරු ඒ පසුපස ලුහු බැඳීමෙන් වැළකිලා පියාට පැන යන්න ඉඩ සලසා දෙනවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ රුහුණේ පාලකයා බවට පත් වෙන්නේ මහින්ද කුමරු.

ඉතින් උදය රජතුමා ධාර්මිකව රජකම් කරපු රජ කෙනෙක්. අනාගත ප්‍රයෝජනය සඳහා එකල පැවතුණු නීති රීති ලේඛනගත කරලා තියන්නත් එතුමා කටයුතු කළා ලු. අන්ධ අයට සහ අනෙක් ආබාධිත අයට ජිවත් වෙන්න ගොඩනැගිලි ඉදි කරලත් තියනවා.  කොහොම උනත් ඔහු වැඩි කල් රජකම් නොකරම ක්‍රි. ව. 812 දී මිය පරලොව යනවා. ඉන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ වැඩිමහල් පුත් "මහින්ද / මිහිඳු III" (ක්‍රි. ව. 812 - 816). ඔහුත් ඉතා ධාර්මික රජ කෙනෙක්. මේ නිසාම ඔහු "ධාර්මික සිලාමේඝ" කියලත් හැඳින්නුවා ලු.

ඉන් පස්සේ රජ උනේ ඔහුගේ සොහොයුරු "අග්බෝ VIII" (ක්‍රි.ව. 816 - 827). ඔහුත් පියාගේ සහ සොහොයුරාගේ අඩි පාරේ යමින් ඉතාමත් හොඳින් රට පාලනය කළා. පෝය දිනවල මාළු, මස් සහ මත් ද්‍රව්‍ය ඇතුල් නුවරට ගෙන ඒම තහනම් කළා. ඒ වගේම තමන්ගේ මවට ඉතාමත් හොඳින් සලකපු කෙනෙක් තමයි එතුමා. තමන්ගේ අත් දෙකෙන්ම ඇය නෑවීම, කැවීම, හිසේ තෙල් ගැල්වීම ආදී හැම දෙයක්ම කරලා තියෙන්නේ ඉතාමත් සතුටින්. ක්‍රි. ව. 827 දී එතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "දප්පුල II" (ක්‍රි. ව. 827 - 843).

දැන් එතකොට මතකයිනේ උදය රජතුමාගේ බෑනා වෙච්ච මහින්ද කුමාරයා රුහුණේ පාලකයා බවට පත් උන හැටි? තවමත් ඔහු තමයි රුහුණේ පාලකයා. මේ අතරේ මහින්ද කුමාරයාගේ පුතුන් දෙදෙනාගේ ("කිස් අග්බෝ" සහ "දප්පුල") හැසිරීම ගැන අසතුටු වෙන ඔහු, පුතා සමග අමනාප වෙලා ඔහුව පලවා හරිනවා. පියාගෙන් පලා එන කුමාරයා පිහිට පතන්නේ දප්පුල රජතුමාගෙන්. දැක්කා නේද ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙන හැටි? දප්පුල රජතුමාත් මේ කුමාරවරු දෙන්නා යොදා ගෙන මහින්දට විරුධව රුහුණ ජයගැනීමේ සටනක් දියත් කරනවා. මහින්ද ඔහුගේ පියාට කළ දේම ඔහුගේ පුතුනුත් ඔහුට කරනවා. හැබැයි ඒ සටන වැළකෙන්නේ මේ කුමාරවරු දෙන්නා සේනාව වෙනත් නිලධාරියෙකුට භාර දීලා ආපහු එන නිසා.

මේ අතරේ මහින්ද ට තවත් තර්ජනයක් එල්ල වෙනවා ඔහුගේ වෙනත් නෑයෙක් ගෙන්. ඒ සටනෙන් මහින්ද මිය යන අතර තුවාල ලබපු නෑයාත් ඉක්මනින් මිය යනවා. ඉන් පස්සේ දප්පුල රජතුමා ඔහුගේ දියණිය කිස් අග්බෝ කුමාරයාට සරණපාවා දීලා දකුණු ප්‍රදේශයේ පාලනය ඔහුට බාර දෙනවා. ක්‍රි. ව. 843 දී දප්පුල රජතුමා මිය ගියාට පස්සේ ඔහුගේ පුත්‍රයා "අග්බෝ IX"  (ක්‍රි. ව. 843 - 846) නමින් රජ වෙනවා. අග්බෝ රජ වෙච්ච එකට විරුද්ධ උණු , දෙවන දප්පුල රජුගේ සහෝදරයාගේ පුත්‍රයා ඔහුට විරුද්ධව සටන් කළත් අග්බෝ රජු සටනින් ජයග්‍රහණය කරනවා. ඒත් කුමක් හෝ හේතුවක් නිසා අග්බෝ රජතුමා ඉක්මනින්ම මිය යනවා.

ඊ ලඟට රජ උනේ කවුද කියලා අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් බලමු.
Related Posts Plugin for WordPress, Blogger...