Friday, January 18, 2013

කළකිරීමෙන් ලියමි...

සතුට ගැන ලිපියක් ලිය ලිය හිටියේ...ඒත් මොන සතුටක්ද? මේ වෙන දේවල් ඇහුවම :(

ඊයේ  හැමෝම වගේ මූණු පොතේ කළු කොඩි දාගෙන ඉන්නවා දැකලා බලද්දී තමයි සිද්ධිය දැනගත්තේ.

"NDT එවුන් අපේ එවුන්ට ගහල ලු"

ඕක ඉතින් අවුරුද්දකට සැරයක්වත් වෙන දෙයක්නේ...

"නෑ මේ පාර ඊට වඩා බරපතලයි. කඩු, පොලු අරගෙන හොස්ටල් වලට පැනලා. හොස්ටල් වල ළමයි කාමර ඇතුලට පැනලා දොරවල් වහගත්තම කඩු වලින් ගහලා දොරවල් කුඩු කරලා...පෙට්‍රෝල් බෝම්බ දාලා ගිනි තියලා...ගර්ල්ස් හොස්ටල් එකටත් ගහලා...එකෙක් ICU එකේ"

මේ මම කනින් ඇසූ දේවල් මිස ඇසින් දුටු දේවල් නොවේ.  එහෙත් ඇසින් දුටුවන් කියන දේ මමද විශ්වාස කරමි.


NDT - BSc ප්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. එය අඩු තරමින් අවුරුදු 10 කට වඩා පැරණිය. මිනී මරාගන්නා තරමට එය ඔඩු දුවන තෙක් ඇස් කන් පියාගෙන සිටි බලධාරීන් ගැන වෙනම කතා කළ යුතුය. 

එදා පටන් අද දක්වා මේ සම්බන්ධ වලි වලින් විශ්ව විද්‍යාලයට අඩුවක් උනේ නැත. දෙකොට්ඨාෂයේම අභ්‍යන්තර ගැටුම්ද නොතිබුනා නොවේ. මේ නිසා "වලි" යනු මොරටුවට අරුමයක් නොවේ. එහෙත්,

"කාන්තා නේවාසිකාගාරවලට පහර දීම, සති කිහිපයක පටන් සැළසුම් කර කඩු, පෙට්‍රෝල් බෝම්බ වැනි දේ යොදාගෙන සංවිධානාත්මකව සිසුන් කොටු කර පහර දීම" වැනි දේවල් මා දන්නා ඉතිහාසයේදී නම් සිදු වී නැත. වඩාත්ම කණගාටුවට කරුණ නම් BSc ගැහැණු ළමුන්ගේ නිදන කාමර පෙන්වා ඇත්තේ NDT ගැහැණු ළමුන් බව අසන්නට ලැබීමයි. හතර වටින්ම ගේට්ටු වසා දමා සිසුන්ට පිට වීමට නොදී එකෙක්ගේ ඔලු කට්ට පුපුරන තෙක් මුගුරු වලින් ගැසීමට තරම් සරසවි සිසුන් සාහසික වන්නේ කෙසේද? 

අද ඒ සිසුවා ජීවිතයත් මරණයත් අතර සටනකය. 

සිද්ධියේ විස්තර සහ පින්තූර බැලීමට අවශ්‍ය නම්...

මේ සියල්ල කර අවසානයේ "කැම්පස් එක අපේ...NDT අපි" යනුවෙන් ජයග්‍රහණය සලකුණු කර තිබුණු සැටිද අපි පින්තූර වලින් දුටුවෙමු. ඇත්තටම ඔය කැම්පස් එක ඔබට බාර දී එතනින් ඉංජිනේරු පිඨය ඉවත්ව යයිනම් මමනම් කැමතිය. NDT අයට දියගම හදනවා කියන ගොඩනැගිලි ටික ඉංජිනේරු සිසුන්ට ලබා දේ නම් ඒකත් එකකි. 

NDT සිසුන් මොරටුවෙන් එළියට යාමට අකමැති වීමට හේතු කිහිපයක් තිබිය හැක. අපි දන්නා තරමින් එකක් "අන්තරය" යි. NDT සිසුන් හරහා මොරටුව සරසවිය තුළට දේශපාලනය ඉතාමත් නින්දිත ආකාරයට රිංගා ඇති බව පැවසීමට බිය විය යුතු නැත. ඔවුන් එයින් ඉවත් වුවහොත් අන්තරයේ මුල් මොරටුවෙන් ගැලවී යාම ඔවුන්ට නිසැකවම ලොකු ප්‍රශ්නයකි. අනෙක ඩිප්ලෝමා - ඩිග්රි ප්‍රශ්නයයි. NDT යනු ඩිප්ලෝමා පාඨමාලාවක් වන තාක් එය ඩිග්‍රියක තත්වයට ගෙන ආ නොහැක. එය ඉංජිනේරු උපාධිය හා සම තත්වයකට ගෙන එයිනම් අදාළ පාඨමාලා කාලය වසරකින් දිගු කර අනෙක් අධ්‍යාපන/ප්‍රායෝගික සාධක එකතු කර විෂය නිර්දේශය සකස් කළ පසු එයද  ඉංජිනේරු ඩිග්රියක් වනු ඇත. එහෙත් එසේ කරයිනම් දැනට ඉංජිනේරු පීඨයට බඳවා ගන්නා ඉංජිනේරු සිසුන් + NDT සිසුන් ට සමාන ප්‍රමාණයකට ඉංජිනේරු සිසුන්ම බඳවා ගත හැක. එවිට NDT කියා පාඨමාලාවක් අවශ්‍ය නැහැ නේද? එවිට සියල්ලෝම ඉංජිනේරුවන් වනු ඇති. තාක්‍ෂණ වේදීන් නැති වී යනු ඇති. එය කොයි තරම් නුවණට හුරුදැයි මදක් සිතා බලන්න. 

කෙසේ වුවත් අපේ අය සම්පූර්ණයෙන් සුද්ද කිරීමටද මට අවශ්‍ය නැත. වැඩි ලකුණු ලබා ඉංජිනේරු පිඨයට ඇතුල් වූ පමණින් අන් සියල්ල තමාට වඩා පහත්යයි සිතීම උගත් කමට තරම් නොවේ (මෙය කිව්වේ එසේ සිතන අයටය.) තවත් කෙනෙක් අවතක්සේරු කර තමන් ගැන ලොකුවට සිතා සිටින අයටම අනාගතයේ අර අවතක්සේරු කළ කෙනා යටතේ වුවද වැඩ කරිමිට සිදු වීමට බැරි කමක් නැත. වැදගත්කම ඇත්තේ ඩිග්රියේද දක්ෂතාවයේද යන්න සිතීම ඔබට බාරය. ඔබ ඔවුන්ට වඩා දක්ෂනම් ඔවුන්ව අවතක්සේරු කර තැන තැන එය ප්‍රකාශ කිරීම අවශ්‍ය නැත. දක්ෂ කම යනු ඉබේ ඉස්මතු වන දෙයක් බැවිනි. එමෙන්ම NDT අයටද දක්ෂ කම පෙන්වීමට සමාන ඩිග්‍රියක් ඉල්ලීම අවශ්‍ය නැත. ඔබ දක්ෂනම් නිසි තැන ඔබට ලැබෙනු ඇත. විශ්ව විද්‍යාලයෙන් එළියට ගිය පසු රැකියාවල  උසස් වීම් ආදිය ලැබෙන්නේ ඩිග්‍රිය මත නොව, දක්ෂ කම මත බැවිනි. (අඩු තරමින් මේ ක්ෂේත්‍රයටවත් තවමත් සැලකිය යුතු තරමකට දේශපාලනය රිංගා නැති බව මම විශ්වාස කරමි ). එනිසා මොරටුව සරසවියෙන් එළියට යාමටද ඔබ අකමැති විය යුතු නැත.

එමෙන්ම මේ ගැටුමද අහසින් කඩා පාත් වූවක් නොවේ. එය මිට කලින් සිදු වූ ගැටුමක ප්‍රතිඵලයකි. ඒ ගැටුමේදී BSc සිසුන් පිරිසක් විසින් NDT සිසුවෙකුගේ බයික් එකක් විනාශ කර ඇත. එයද කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ.  එහෙත් බයික් එකකට පලිය ගන්නේ සංවිධානාත්මක මිනී මැරීමකින්ද යන්න සිතා බැලිය යුතු කරුණකි.


කෙසේ වුවද, දෙපිරිසම දැන ගතයුතු කරුණක් වන්නේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු බර මතින් ඔබ විශ්ව විද්‍යාලයට පැමිණියේ ඒ බදු මුදල් වලින් ඉගෙනගෙන රටට වැඩක් කර ඒ ණය ගෙවීමට මිස දෙපසකට බෙදී කුලල් කා ගැනීමට නොවේ. නිකන් ලැබෙන නිදහස් අධ්‍යාපනය ඔබ තුට්ටුවකට මායිම් නොකරන්නේ ඔබට එය නිකන් ලැබෙන බැවිනි. ඔබේ ඔය සෙමෙස්ටරයක මුදල්මය වටිනාකම කීයක්දැයි කියා ඔබ දන්නවාද? දවසකට පැය ගණනක් පීසා කඩයක හෝ ෂෙඩ් එකක වැඩ කරන ගමන් ඉගන ගන්නා තත්වයට ඔබ පත්ව නැත්තේ ඔය නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නටය. රටේ අහිංසකයින්ගේ බදු මුදල් වලට පින් සිදු වන්නටය. ඒ කිසිවක් නොදුටුවා සේ  "අපි විශ්ව විද්‍යාල සිසුන්" යයි මහන්තත්වයකින් උදම් වී එකිනෙකා මරාගන්නා ඔබ, ඒ නිදහස් අධ්‍යාපනයේ මළගම ළඟදීම සනිටුහන් කරනු ඇත...දේශපාලුවන් අතින් ඒ දේ සිදු වීමට පෙර ම....

අවසාන වශයෙන්,

රොෂාන් සොයුර, ඔබට "ඉක්මන් සුවය" පමණක් පැතීමට සිදුවීම ගැන අපි අප්‍රමාණව සතුටු වෙමු. 





Thursday, January 10, 2013

අත්වැල මම වෙන්නම්

අඳුරෙ වෙලී සඳ කිණිති ලතාවට
අහස පුරා දඟ කරන තුරාවට
නිල් නෙතු සඟලේ කිමිදී හෙමිහිට
දැහැනක සැතපෙන්නම්

සඳ රැස් වැතිරෙන පුලින තලාවක
පාට පියුම් පෙති වැටෙන වෙලාවක
අත්තල පටලා මා පසෙකින් නුඹ
කැන්දාගෙන යන්නම්

කොඳ මල මුදුනේ මී මැසි සාදෙට
රොන් කෙමියේ පැණි පිරෙන කලාවට
මගෙ හිත පුරවන ටිකිරි හිනාවෙන්
සැමදා සැනහෙන්නම්

රන්ගිර මුදුනට දිනිඳු වඩින්නට
පුන් සඳ අතුරන පිනි පළසක් ලෙස
මගෙ ඇත් රජුනට ලොවම දිනන්නට
අත්වැල මම වෙන්නම්





Friday, January 4, 2013

හතුරු මිතුරු දඹදිව තුරු - රාජාවලිය XXVI

ඔන්න එහෙනම් අලුත් අවුරුද්දේ හා හාපුරා කියලා දාන පළවෙනි රාජාවලිය ලිපිය. මේකෙත් ඉවරයක්‌ දකින්න එපාය.  එහෙනම් ළමායි කම්මැලි නැතුව පොත් අතට ගන්ඩලා...

                                                             ~~~~~~~~~~~~~~~



අපි අන්තිමට නතර කළේ නමවන අග්බෝ රජතුමා ක්‍රි. ව. 846 දී මිය ගියපු තැනින්. ඉන් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ සහෝදරයා වන සේන (ක්‍රි. ව. 846 - 866) ට. සේන රජතුමාට "මහින්ද", "කස්සප" සහ "උදය" නමින් සොහොයුරන් තුන් දෙනෙක් හිටියා. යුව රජකම ලැබුණේ එයින් වැඩිමලා වෙච්ච මහින්ද ට. අනිත් දෙන්නාටත් ඇමති තනතුරු ලැබුණා.

එක දවසක් මේ රජතුමා අගනුවරින් පිට යද්දී පාලන කටයුතු බාර දීලා ගිහින් තියෙන්නේ බාලම මල්ලි උදය ට. හැබැයි මේ උදයට කවුරුත් නොදන්නා ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා තියනවා නැන්දා කෙනෙක්ගේ දුවෙක් එක්ක. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත උදය මොකද කළේ, වැඩ කටයුතු ඔක්කොම පැහැර හැරලා අර ප්‍රේමවන්තියත් එක්ක පොළොන්නරුවට පැනලා ගියපු එක. මේක ආරංචි වෙච්ච සේන රජතුමා තරහ ගන්නවා වෙනුවට කරේ බාල සොහොදරයා ගැන හොයන එක තමන්ගෙන් අතපසු උනා කියලා දුක් වෙච්ච එක. එහෙම හිතලා යුව රජ මහින්දව පොළොන්නරුවට යවලා ජෝඩුව නැවත ගෙන්වාගෙන ඉහළින්ම මංගල සාදයකුත් පවත්වනවා. ඒ වගේ හොඳ හිතක් තිබුණ රජෙක් තමයි සේන රජතුමා. ඒ වගේම ඔහු ආගමික කටයුතු වල නිරත වෙමින් දුප්පතුන්ටත් සැලකුවා ලු.

මේ අතරේදී තමයි පඬි දේශයෙන් සතුරු ආක්‍රමණයක් එල්ල වෙන්නේ. ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් රජතුමා ප්‍රමුඛ සේනාව ලක්දිව ආක්‍රමණයට පැමිණෙද්දී සිංහල සේනාවලට පසු බසින්න සිද්ධ වෙනවා. ඒකට ප්‍රධානම හේතුව රටට හොඳ පුහුණු සේනාවක් නොසිටීම. මේ නිසා සේන රජතුමා සටනින් පලා ගිහින් සැඟවෙනවා. යුවරජ මහින්දත් සතුරන් සමග සටනට ගොස් පැරදීගෙන එද්දී සතුරාට අසු වෙනවාට වඩා මිය යාම හොඳයි සිතන ඔහු ඇතු පිට සිටිද්දීම තමන්ගේ අසිපතෙන් ගෙල සිඳ ගන්නවා. මේ බව අසා දුක් වෙන කස්සප කුමාරයා තනිව සටන් බිමට ගිහින් දක්ෂ විදිහට අසු හසුරවමින් සතුරන් සෑහෙන ප්‍රමාණයක් මරණයට පත් කරනවා. ඒත් වෙන කාගෙන්වත් උදව් නොලැබුන නිසා ඔහුත් පලා යනවා. ඒත් කොයි විදියකින් හරි ඔහුත් සතුරන් අතින් මිය යනවා.

හිතේ හැටියට අනුරාධපුරයේ වස්තුව කොල්ලකන  පාණ්ඩ්‍යයන් අවසානයේ සේන රජු සමග මිතුරු වෙන අදහසින් ඔහු ඒ වෙද්දී සැඟවිලා හිටපු දෙගම්මුව කියන ගමට සාම දූතයන් යවනවා. අපරාදේ කියන්න බෑ සේන රජතුමාත් ඔවුන්ව පිළිඅරගෙන පඬි රජතුමාට තෑගි බෝගත් දීලා තමා පිටත් කරන්නේ. මේකෙන් සතුටු වෙන පඬි රජතුමා රාජ්‍ය නැවතත් සේන රජතුමාට දීලා ලංකාවෙන් පිටත් වෙනවා (හැබැයි පැහැරගත් වස්තුවත් අරගෙනම). ඔන්න ඔහොමයි හතුරෝ මිතුරෝ උනේ.

සේන රජතුමා නැවතත් රට ගොඩ ගන්න පටන් අරගෙන ඉතුරු වෙලා හිටපු උදය කුමාරයට දකුණු ප්‍රදේශය පවරලා ඔහුව පිටත් කරලා ඇරියත් මගදී ලෙඩ වෙන ඔහුත් මිය යනවා. ඉතින් ක්‍රි. ව. 866 දී සේන රජතුමාත් මියගියාට පස්සේ රජකම හිමි වෙන්නේ කස්සප කුමාරයාගේ වැඩිමල් පුතා, එහෙම නැත්නම් සේන රජතුමාගේ බෑනා ට. ඔහුගේ නමත් සේන. ඒ නිසා ඔහු සේන II (ක්‍රි. ව. 866 - 901) නමින් රජ වෙනවා.

දෙවන සේන රජතුමා යුව රජ තනතුර දුන්නේ ඔහුගේ මල්ලි මහින්දට. සේන රජතුමාගේ පුතාට භාර්යාව වෙන්නේ යුවරජ මහින්දගේ දියණිය. රජතුමාගේ හිතට ලොකුවටම වද දීපු ප්‍රශ්නයක් තමයි පළමු සේන රජුගේ කාලයේ පාණ්ඩ්‍යයින් කරපු කොල්ල කෑම. මේකට පළිගන්න සැලසුම් කර කර ඉන්න අතරෙදි තමයි පඬි රජතුමා, ඔහුගේ පුතා වෙච්ච වරගුණවර්මන් කුමාරයව රටින් පිටුවහල් කරන්නේ. ඒ කුමාරයා ඇවිත් ගොඩබහින්නේත් ලංකාවට. ඉතින් වෙච්ච දේ පැහැදිලියිනෙ දෙන්නම එකතුවෙලා මාර ශ්‍රී පඬි රජතුමාට වැඩක් දෙන්න සැලසුම් කරනවා. ඒ සැලසුම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගන්නත් පුළුවන් වෙනවා. පඬි රටේ සිහසුන වරගුණ කුමාරයට පවරා දීලා ඒ නගරත් කොල්ල කාගෙන මෙරටින් ගෙනගිය වස්තුවත් නැවත ලබාගෙන අපේ සිංහල සේනාව නැවත ලක්දිවට එනවා.

දෙවන සේන රජතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ සොහොයුරෙක් වන "උදය  II " (ක්‍රි. ව. 901 - 912). යුවරජ මහින්ද රජ නොවුනේ ඇයි කියලා හරියටම පැහැදිළි නැහැ. උදය රජුගෙන් පස්සේ රාජ්‍ය හිමි උනේ "කාශ්‍යප IV" (ක්‍රි. ව. 912 - 929) රජුට. ඔහු දෙවන සේන රජතුමාගේ පුත්‍රයා බවට මතයක් තියනවා. මේ කාශ්‍යප රජතුමා යුවරජ කම දුන්නේ ඔහුගේ පුතා (ඔහුත් කාශ්‍යප) ට. රුහුණේ පාලනයත් පුතාට බාර දෙන්න හදද්දී ඒ වෙද්දී රුහුණේ ඉඳපු මිහිඳු කුමාරයා ඒකට විරුද්ධව සටනට ආවලු. අන්තිමේ ඒ සටන් නැවතිලා තියෙන්නේ සංඝරත්නය මැදිහත් උනාම. කොහොමහරි කාශ්‍යප රජතුමා තමන්ගේ දියණිය මිහිඳු කුමාරයට පාවා දීලා රුහුණේ පාලනයත් ඔහුටම බාර දුන්නලු. බුදු සසුනට සංග්‍රහ කරමින් ආරෝග්‍ය ශාලා ආදිය තනවමින් හොඳින් රජකම් කරපු හතරවෙනි කාශ්‍යප රජුගෙන් පස්සේ රජ උනේ ඔහුගේ පුත් "කාශ්‍යප V" (ක්‍රි. ව. 929 - 939).

ඊට පස්සේ උන දේවල් අපි ඊ ළඟ ලිපියෙන් බලමු නේද?
Related Posts Plugin for WordPress, Blogger...