Friday, August 30, 2013

බිල් ගේට්ස්ගෙ ගෙදර යමුද?

ඔයගොල්ලො වැඩි දෙනෙක් දැකලා ඇතිනේ ගේට් මහත්තයගෙ ගෙදර විස්තර එහෙම ඊ මේල් වලින් හුවමාරු වෙනවා. ඒවයේ තිබුණ විදියට ඒක නිකන් සුපිරිම ගෙදරක් තමා. අධි තාක්‍ෂණය උපයෝගී කරගෙන අන්තිම සැප පහසු විදියට ගෙදර ඩිසයින් කරලා තියනවා.

ඒත් මමනම් කියන්න යන්නේ ඒවා ගැන නෙමෙයි. අපිට ගේ ඇතුල බලන්න අවසර නෑ නේ. ගේට් මන්දිරය පිටතින් දැක බලාගන්න ලැබිච්ච හැටි ගැන තමයි මම කියන්න යන්නේ.

මේ ගෙදර පිහිටලා තියෙන්නේ හඳ අල්ලපු රටේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් කියන නගරයේ, "වොෂින්ටන් ලේක්" එකට මුහුණ දාලා හරිම ලස්සන තැනක. ඉතින් ගෙදර බලාගන්න ඕන නම් යන්න වෙන්නේ බෝට්ටුවකින් හරි වතුරේ යන්න පුළුවන් වෙන මොකකින් හරි තමයි. 

හැබැයි ඔය ලේක් එක අද්දර තියන එකම ගෙදර බිල් ගේට්ස්ගේ ගෙදර විතරක් නෙමෙයි. තවත් මහා ධනවතුන්ගේ ගෙවල් ගොඩක් වැව අද්දරින් වටේටම පිහිටලා තියනවා. 


මේ තියෙන්නේ ඒ විදියට වැව අද්දර හදලා තියන ගෙවල්



ඉතින් ඔය වැවේ තියනවා කෘස්‌ සවාරි සපයන සේවාවක්. කෘස්‌ එකකින් වැව වටේ එක්ක ගිහින් අර ගෙවල් ටික පෙන්නගෙන එනවා. අපිත් ඉතින් ටිකට් එකක් අරගෙන ඔය කෘස්‌ එකකට නැග්ගා.

එහෙම යද්දී දැකපු ගෙවල් වලින් කිහිපයක් තමයි මේ...








මේවයේ ඉන්න හැමෝටම වගේ අනිවාර්යෙන්ම බෝට්ටුවක් තියනවා තමන්ට කැමති වෙලාවට වැවේ සවාරි යන්න. පින්තූර වල පේනවා ඇති නේ ගෙවල් ඉස්සරහ බෝට්ටු නවත්තලා තියනවා.

ඔන්න එහෙනම් මේ තමයි ගේට්ස් ගේ ගෙදර :)



වැඩි හරියක් හැංගිලා තමා තියෙන්නේ.

මේ පැත්තෙන් ගත්ත පින්තූරයක්. හැංගිච්ච කොටසක් ඒකේ පේනවා.




ඉතින් ඔයිට වඩා ලඟට ගිහින් බලන්නනම් අපිට අවස්ථාවක් නෑ.

මේ ගමනේදී දැකපු තවත් වැදගත් දෙයක් තමයි මේ පහලින් තියන පාලම. වොෂින්ටන් ලේක් එක හරහා දාලා තියන මේ පාලම සාමාන්‍ය එකක් නෙමෙයි, පාවෙන පාලමක්.



වතුරේ පාවෙන් කොන්ක්‍රීට් තට්ටු උඩ සවි කරපු කුළුණු උඩ තමයි පාලම පිහිටලා තියෙන්නේ. මෙහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ මේ වැවේ තියන අසාමාන්‍ය ගැඹුර. එච්චර ගැඹුරකදී පතුලේ ඉඳලා කුළුණු සවි කරන එක ප්‍රායෝගික නැහැ වගේම වියදමත් ඉතාම අධික වැඩක් ලු.

එහෙනම් ඉතින් පින්තූර කතාව මෙයින් අවසානයි. තවත් හඳ අල්ලපු රටේ විස්තරයකින් පසුව හමු වෙමු...

Wednesday, August 21, 2013

ලතා මඩුල්ලක් - රාජාවලිය XXXI


අපි පහුගිය ලිපියෙන් කතා කලා නේ මහා පරාක්‍රමබාහු රජතුමා අභිෂේක වෙච්ච හැටි. ඒකට අන්චි අදින්න කී දෙනෙක් උත්සාහ කළාද කියලත් මතක ඇති නේ. ඉතින් ඒ අයගෙන් අන්තිම අන්චිය ඇදපු සුගලා, ඒ සටනින් පැරදුනත් වැඩේ නතර කරන්නේ නැහැ. පලා ගිහින් සැගවී ඉදගෙන දිගටම වැඩ කටයුතු කරගෙන යනවා. මේ අතරේ පරාක්‍රමබාහු රජු විසින් හිර කරගෙන ඉදපු රුහුණේ දක්ශ සෙනෙවියෙකුත් හිරෙන් පැන ගිහින් සුගලාට එකතු වීම නිසා ඔවුන්ගේ හමුදාවට නව පණක් ලැබෙනවා.

මෙළෙස ශක්තිමත්ව රජුගේ හමුදාවට පහර දීම ආරම්භ කරන ඔවුන් මොණරාගල ආසන්නයේ කදවුරු ගසාගෙන කරන පහර දීම නිසා රාජකීය හමුදාවට පසු බැසීමට සිදු වෙනවා. රජුගේ "රක්ඛ" සෙනෙවියා ලෙඩ වී මිය යන්නෙත් මේ අතරමයි. මෙහෙම රටේ නොයෙක් ප්‍රදේශ වලට පහර දුන් රුහුණු සේනාව දියත් කළ තවත් දරුණු ප්‍රහාරයක් තමයි දීඝවාපියට කළ පහර දීම. රජුගේ සේනාව අපහසුවෙන් ඔවුන් පලවා හැරිය පසු නැවතත් සුගලාගේ සෙබලුන් විසින් එය අල්ලා ගන්නවා. පසුව නැවතත් රජුගේ සෙබලුන් විසින් දීඝවාපිය ජය ගන්නවා.

රජුගේ මී ළග ඉලක්කය වෙන්නේ කැරලි කරුවන් බලවත්ව සිටි බුත්තල ප්‍රදේශය අල්ලා ගැනීම. මේ ගමනේදී ගින් ගග, වැලිගම, මාතර, දෙවුන්දර යන ප්‍රදේශ වල සටන් කරමින් සතුරා පළවා හැරීමට රජුගේ සෙබළුන් සමත් වෙන අතර අකුරැස්සේදී නිල්වලා ගග තරණය කරන්න යෑමේදී ඔවුන්ට දරුණු සතුරු ප්‍රහාර වලට මුහුණ දීමටත් සිදු වෙනවා. අවසානයේ බුත්තල ජයග්‍රහණය කර එහි කදවුරු බදින විට, සුගලා දේවිය අටදහස් රට ප්‍රදේශයේ කැලෑ මැද සුලු සෙබළ පිරිසකගේ ආරක්ශාව පමණක් ඇතුව අසරණව පසු වෙනවා. මෙළෙස කොටු වී සිටි සුගලාව කිහිප පැත්තකින් වට කර අල්ලාගෙන සිර භාරයට ගැනීමට සෙනෙවියන්ට හැකි වෙනවා.

සුගලා අල්ලා ගැනීමෙන් පසුව මුළු දිවයිනම පරාක්‍රමබාහු රජු යටතට පත් වුනත් ක්‍රි.ව. 1161 දී පමණ නැවතත් රුහුණෙන් කැරැල්ලක් පැන නගිනවා. ඒ අවස්ථාවේදීත් පොලොන්නරුවෙන් විශාල හමුදාවක් එවා එය මැඩපවත්වන්න රජු සමත් වෙනවා. කොහොම උනත් රුහුණේ ජනතාව හැකි සැම වෙලාවකම රජුට විරුද්ධව පෙරලි කරපු බව පේන්න තියනවා.

මේ සිද්ධි වලින් පස්සේ බුරුමයේ රජු ලන්කාවට කළ අහේතුක හිරිහැර නිසා සේනාව යවා බුරුමය ආක්‍රමණය කරන අතර පාන්ඩ්යයින්ට එල්ල උනු සතුරු කරදරයකදී ඔවුන්ට ආධාර සදහා සේනාවද ලබා දෙනවා.

මීට අමතරව පරාක්‍රමබාහු රජතුමා ගැන ජනප්‍රවාදයේ තියන දෙයක් තමයි ඔහුගේ දුව 'රත්නවල්ලි' සහ රොඩී ජනයා අතර ඇති නෑ කම. මේ ජනප්‍රවාද ගැන මේ ලිපියේ ලියන්න මගේ අදහසක් නැති උනත් පොඩි කුමාරිහාමිගේ හුලවාලි ලිපියේ ඒ ගැන ඉතාමත් ලස්සනට ලියලා තියනවා.

ඉතින් පරාක්‍රමබාහු රජතුමා ක්‍රි.ව. 1186 දී මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ  බෑනා කෙනෙක් වන (එමෙන්ම දෙවන ගජබාහු රජුගේ පුත්‍රයා වන) "විජයබාහු II" රජතුමාට (ක්‍රි. ව. 1186-1187). කීර්ති විජයබාහු / පණ්ඩිත විජයබාහු කියන නම් වලිනුත් හැදින්වුනේ ඔහුම තමයි. ඒ වගේම ඔහු හොද කවියෙක් හැටියටත් සැළකුණා. ඒත් මෙතුමාට රජ කරන්න වෙන්නේ අවුරුද්දක කාලයක් විතරයි. මිහිදු නම් අයෙක් ඔහු මරා "මිහිදු VI" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 1187). ඒත් ඔහු රජ පවුලට සම්බන්ධ අයෙක් නොවන නිසා ඇමතියන්ගේවත් ජනතාවගේවත් සහාය ඔහුට ලැබෙන්නේ නැහැ.

පරාක්‍රමබාහු රජුගේ කාලින්ග බිසවගේ පාර්ශවයෙන් ඔහුට බෑනා වන "නිශ්ශංක මල්ල" රජතුමා (ක්‍රි. ව. 1187 - 1196) ඔහු මරා දමා රජකම ලබා ගන්නවා. මේ නිසා ඔහු කාලින්ග වන්ශයට අයිති, කාලින්ගයේ උපන් කෙනෙක්. නිශ්ශංක මල්ල රජතුමා ගැන විස්තර හැමෝම අහල ඇතිනේ. අර දකින දකින ගලක් ගානේ සෙල් ලිපි එහෙම කොටලා තවත් ලස්සන ශිලා නිර්මාණයක් වන නිශ්ශංක ලතා මණ්ඩපය එහෙම කරවපු රජතුමා නේ.



අපේ ගල් වඩුවන් කොයි තරම් සියුම් අන්දමට නිර්මාණ කරපු අයද කියන එක මේක දිහා බැලුවම පේනවා. ඒ ඇරෙන්න දන්ත ධාතුව තැනපත් කිරීමට හැටදාගේ, වටදාගේ සහ රන් කොත් වෙහෙර කරවලා තියෙන්නෙත් මෙතුමා තමයි. හොද බෞද්ධයෙක් උනු ඔහු, බුදු සසුනට සහ දුගීන්ට හොදින් සැළකුවා. ඒ වගේම ලක්දිව රජකම ලැබිය යුත්තේ බෞද්ධ රජෙකුට පමණක් බවත් චෝලයින්ට සහ පාණ්ඩ්යයින්ට මෙහි අයිතියක් නැති බවත් පැහැදිළිව සදහන් කළා.

නිශ්ශංක මල්ල රජුගෙන් පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් "වීරබාහු I" රජතුමා. එහෙත් ඔහු එදින රාත්‍රියේදීම 'තවිරු' නම් සෙන්පතියෙක් අතින් මැරුම් කනවා. ඉන් පසුව රජකම ලැබෙන්නේ රජුගේ සොහොයුරු "වික්‍රමබාහු II" ට. ඔහුටත් රජකම් කරන්න ලැබෙන්නේ මාස 3 ක පමණ කාලයක් විතරයි. නිශ්ශංක මල්ල රජුගේ සොයුරියගේ පුත් හැටියට සැළකෙන 'චෝඩගන්ග' (ක්‍රි. ව. 1196 - 1197) විසින් ඔහු මරා දමනවා. 

චෝඩගන්ග ගේ ඉරණම විසදෙන්නේ කා අතින්ද කියන එක අපි ඊ ලග ලිපියෙන් බලමු.



ප. ලි. - අදනම් අනිත් බ්ලොග් බලන්න කලින් කොහොමහරි මේක ලියනවමයි කියල හිතා ගත්තා. දැන් එන්නම්කො හැමෝගෙම බ්ලොග් පැත්තේ...
Related Posts Plugin for WordPress, Blogger...