Wednesday, February 26, 2014

සිරි පැරකුම් - රාජාවලිය XXXIII




ඔන්න එහෙනම් අපි කලින් ලිපිය අවසන් කළේ කාලිංග මාඝ ආක්‍රමණය නිසා පොලොන්නරුව පරිහානියට පත් වෙලා වල් වැදිලා ගියපු හැටි ගැන කියලා. ඒත් එක්කම අපි කිව්වා රජරට ඉඳපු සාමාන්‍ය ජනයා වගේම භික්ෂුන් වහන්සේලාත් දඹදෙණිය වගේ නිරිත දිග පළාත් වලට සංක්‍රමණය උනා කියලා. ඒ කියන්නේ අද අපි දඹදෙණිය රාජධානිය ගැන කතා කරන්නයි හදන්නේ. පහුගිය දවස්වල මධුරංග දඹදෙණිය පැත්තේ සංචාරය කරලා ගොඩක් හොඳ සටහන් වගයක් ලියලා තිබුනා පින්තූරත් එක්කම. ඒවාත් කියවලා බලන්නකෝ. මම පින්තූර ඉල්ලගෙන මෙතන දානවට වඩා ගිහින්ම බලන එක හොඳයි නේ...

ඉතින් ඔය කාලේ දඹදෙණියේ හිටියා විජයබාහු කියලා කුමාරයෙක්. ඔහු 'විජයමල්ල' කියලා ප්‍රාදේශීය නායකයෙකුගේ පුතෙක් හැටියට තමයි හැඳින්වෙන්නේ. මේ කුමාරයාගේ ළමා කාලය ගොඩක් දුරට ගෙවිලා තියෙන්නේ කැලෑ ප්‍රදේශවල හෝ හමුදා කඳවුරු වල. කොහොමහරි මේ වෙද්දී තැන තැන බිහි වුන ප්‍රාදේශීය නායකයින් තමන්ගේ යටතට ගන්න විජයබාහු කුමාරයා සමත් උනා. ඒත් එක්කම මායා රටේ බලය පතුරවාගෙන ඉඳපු ප්‍රාදේශීය දෙමළ නායකයින් පොළොන්නරුවට පළවා හරින්නත්, මායා රටට ඇතුල් වීමට පැමිණි මාඝ ගේ සේනාව පළවා හරින්නත් සමත් උනා. මේ නිසා විජයබාහු කුමරු ඉබේම සිංහලුන්ගේ නායකයා විදිහට සැලකුණා.

පොළොන්නරුවෙන් රහසේම මායා රටට වැඩම කරවපු දන්ත ධාතුවේ භාර කාරත්වයත් තමා අතට ගැනීමට විජයබාහුට පුළුවන් වෙන නිසා ඒක තවත් තහවුරු උනා. කෑගල්ලේ බෙලිගල පන්සලක් හදලා එතන තමයි දළදාව තැන්පත් කළේ.

මේ  "විජයබාහු III" (ක්‍රි. ව. 1230 - 1234) රජතුමාට ඉන්නවා පරාක්‍රමබාහු සහ බුවනෙකබාහු කියලා පුතුන් දෙන්නෙක්. කොහොම උනත්  ඔහු වැඩි කල් රජකම් කරන්නේ නැහැ. වයස නිසාම ඔහු සිංහාසනය තම වැඩිමල් පුතුට පවරා විශ්‍රාම යනවා. ඒ අනුව අපේ ඊ ළඟ රජතුමා තමයි "පරාක්‍රමබාහු  II"  (ක්‍රි. ව. 1234 - 1269) රජතුමා.



පහුගිය දවස්වල 'සිරි පැරකුම්' කියලා චිත්‍රපටියක් පෙන්නුවේ මෙතුමා ගැන තමයි. හැබැයි ඒ ජනප්‍රවාදයේ එන කතා. කාලිංග මාඝ ගෙන් එල්ල වෙච්ච සතුරු ප්‍රහාරයක් නිසා කුමරා රුක්මලේ ග්‍රාමයට රහසේම පිටමං කරලා හදා වඩා ගන්නා හැටි තමයි ඒ ජනප්‍රවාද වල තියෙන්නේ. දෙවන පරාක්‍රමබාහු රජතුමා හොඳ රජෙක් විතරක් නෙමෙයි හොඳ කවියෙක්, සාහිත්‍යධරයෙක් විදිහටත් සැළකෙනවා. "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" කියන ගෞරව නාමයන් පිදුම් ලැබුවේත් මෙතුමා තමයි. "විශුද්ධි මාර්ග සන්නස", "කව් සිළුමිණ", "ධර්ම පූර්ණිමා" එතුමා කළ විශිෂ්ඨ කෘති වලින් කිහිපයක්.

දළදාව දඹදෙණියට වැඩමවපු දෙවන පරාක්‍රමබාහු රජතුමා අවිවාදයෙන් රටේ භාරකරු විදියට පිළි ගැනුනත් රජරට පාලනය තවමත් තිබුනේ මාඝ අතේ. ඔය අතරේ තමයි චන්ද්‍රබානු නම් ජාවක රජු තාම්රලිංග දේශයෙන් (වර්තමාන මලයාසියාව විය යුතුයි) පැමිණ  ලංකාව ආක්‍රමණය කරන්නේ.  වයඹ සහ දකුණු මුහුදු තිරවල බලය අල්ලාගන්න ඔහු සමත් වෙනවා. මොහුත් මාඝ වගේම ක්‍රෑර පාලකයෙක් උනත් බෞද්ධයෙක් නිසා වෙහෙර විහාර වලට හානියක් කරේ නැහැ (තාම්රලිංග දේශය එවකට බෞද්ධ රටක්).

මේ වෙලාවේ දෙවන පරාක්‍රමබාහු රජු වහාම ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ බෑනා කෙනෙක් වන වීරබාහු කුමාරයා ලවා චන්ද්‍රබානු පළවා හරින්න ඔහු සමත් වෙනවා. පලා යන චන්ද්‍රබානු උතුරේ මාඝ පාලන ප්‍රදේශයකට ගොස් එහි ජාවක කොලනියක් සාදා ගන්නවා.

මේ අතරේ යුධමය වශයෙන් ශක්තිමත්ව සිටින පරාක්‍රමබාහු රජතුමා පිහිටි රට මුදවා ගැනීමට පියවර ගන්නවා. පොළොන්නරුවට සේනාව මෙහෙයවා කාලිංග මාඝ මරා දැමීමට ඔහුට හැකි වෙනවා. ඒ තමයි හතලිස් වසරකට අධික ක්‍රෑර මාඝ පාලනයේ අවසානය.

වැඩි කල් නොගොස් පරාක්‍රමබාහු රජු අසනීප වෙන නිසා පාලන කටයුතු ඔහුගේ වැඩිමහල් පුතු වන විජයබාහු ට පවරනවා. ඔහු ඉතාමත් කරුණාවන්ත නිවුණු ගති ඇති කෙනෙක් නිසා "බෝසත් විජයබා" යන විරුදාවලිය ලබනවා. නටබුන්ව ගියපු පොලොන්නරුව පිළිසකර කිරීමේ අදහසක් රජුට තිබුනත් ඊට මත්තෙන් උතුරේ කොලනියක් සාදාගෙන සිටි චන්ද්‍රබානු නැවතත් රජරට අත්පත් කරගෙන එයින් නොනැවතී යාපහුවට පැමිණ දන්ත ධාතුව ඉල්ලා යුධ ප්‍රකාශ කරනවා. වීරබාහු කුමරු සමග සටන් බිමට යන විජයබාහු රජතුමා ඔහුව පරාජය කිරීමට සමත් වෙනවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ විජයබාහු රජතුමා පොළොන්නරුව සහ රුවන්වැලි දාගැබ පිළිසකර කළ බවත් දළදාව නැවතත් පොළොන්නරුවට වැඩමවූ බවත් සඳහන් වෙනවා. "විජයබාහු IV" (ක්‍රි. ව. 1268 - 1270) රජතුමා නිල වශයෙන් රජ වෙන්නේ 1968 දී.

ඒත් මෙහෙම රජකම් කරමින් ඉන්න බෝසත් විජයබාහු රජතුමාට මාලිගය ඇතුලෙන් සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙන්නේ හරිම අවාසනාවන්ත විදිහට. "මිත්‍ර" නම් සෙනෙවියෙක් තවත් ඇමතියන් කිහිප දෙනෙක් හවුල් කරගෙන රජ වාසල සේවකයෙකුගේ සහායයෙන් රජු මරවන්නට ඔහුට හැකි වෙනවා. මෙයින් නොනවතින මිත්‍ර, විජයබාහු රජුගේ සොහොයුරා වන බුවනෙකබාහු කුමරු මැරවීමටත් පිඹුරු පත් අඳිනවා.

බුවනෙකබාහු කුමරා අශ්ව කරත්තයක නැගී ගමන් කරමින් සිටියදී කොන්ත්‍රාත් කරුවන් යොදා රථයට පහර දෙන අතරේ රථයෙන් පැන සැඟවෙන්නට කුමරුට හැකි වෙනවා. පා ගමනින් බොහෝ දුරක් ගොස් ඇතෙකුගේ පිට නැගී කොලුමුනේ ඔය තරණය කරන කරන බුවනෙකබාහු කුමරු යාපහුවට පැමිණෙනවා. මේ අතරේ මිත්‍ර සෙනෙවියා රජ කිරුළ පැළඳ දඹදෙණියේ සිංහාසනාරූඨ වී හමුදා සෙබළුන්ගේ වේතනය ද  වැඩි කර රජකම බලෙන්ම පවරාගන්නවා. ඒත් මිත්‍ර සෙනෙවියාට මුහුණ දෙන්නට සිදු වෙන්නේ නොසිතූ ඇබැද්දියකට. බුවනෙකබාහු කුමාරයා රහසේම හමුදා නායකයින්ට දුන් උපදෙස් මත වේතනය වැඩි කිරීම ගැන සාකච්ඡා කිරීමේ මුවාවෙන් මිත්‍ර හමුවට යන "තාකුරක" නම් හමුදා නායකයා එක් වරම කඩුව ඇද මිත්‍ර මරා දමනවා.

ඔන්න ඔය විදිහටයි "බුවනෙකබාහු" (ක්‍රි. ව. 1271 - 1283) රජතුමාට කිරුල හිමි වෙන්නේ. බුවනෙකබාහු රජතුමා රාජ්‍ය පාලනය යාපහුවේ සිට මෙහෙයවීමට කටයුතු කරපු හැටි අපි ඊ ළඟ ලිපියෙන් කියවමු. එතෙක් ආයුබෝවන්.


Related Posts Plugin for WordPress, Blogger...