Tuesday, September 29, 2015

ඉස්කෝල කාලේ ට්‍රිප්

මේ ලඟදි මගේ ඉස්කෝලේ යාලුවෙක් ඉස්සර අපි ට්‍රිප් ගිය හැටි සහ දැන් ඉස්කෝල  පරම්පරාව ට්‍රිප් යන හැටි ගැන මූණු පොතේ පොඩි විග්‍රහයක් කරලා තිබුණා. ඉතින් ඕක දැක්කට පස්සේ මට ඉස්සර ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් ගැන මතක් වේගෙන වේගෙන ආවා. :) ඊට පස්සේ හිතුනා ඔය ටික මෙන්න මේකේ ලියල දාන්න ඕනේ කියලා. නිකං වේලෙන එකේ.



මුලින්ම කියන්න ඕනේ ඉතින් ගෑනු ළමයි වෙච්ච අපිට කවදාවත් ඉස්කෝලෙන් දවස් දෙකේ ට්‍රිප් යන්න වාසනාව ලැබුනේ නෑ. දැන් අහන්න එපා ඉතින් දවස් තුනේ ඒවා ගියාද කියලා :(. වන්ඩේ එව්වා විතරයි.  

මම හතර වසරේ ඉන්දැද්දි තමයි මුලින්ම ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න චාන්ස් එකක් ලැබෙන්නේ. හැබැයි ඉතින් ඔය චාන්ස් එක මගේ අත ළඟටම ඇවිල්ලා හැරිලා යනවා, මේ බලාගෙන ඉන්දැද්දි. ඒ දවස්වල මම ඉස්කෝලේ ගියේ ලොකු මාමලගේ ගෙදර ඉඳලා (අපේ තාත්තා පරිපාලන සේවයේ ඉඳපු නිසා හැම තිස්සෙම අරහෙට මෙහෙට මාරු වීම් එනවා. ඉතින් හරියට එක තැනක ඉඳගෙන ඉස්කෝලේ යන්න විදිහක් තිබුනේ නැහැ). ඉතින් ඔන්න ට්‍රිප් එක යන්න කැමති ළමයි හැමෝම දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ලියුමක් ලියාගෙන එන්න කිව්වා දවස් දෙකක් ඇතුළත.

දවස් දෙකක් ඇතුලත අහවල් එකක් කරන්නද? අම්මලා සති අන්තේ තමයි මාව බලන්න එන්නේ හරි එහෙම නැත්නම් ගෙදර එක්ක යන්න එන්නේ. එතකන් ඉන්නත් බෑ. අනිවාර්යෙන්ම අම්මා හරි තාත්තා හරි ලියුම අත්සන් කරන්න ඕන කියලයි මිස් කිව්වේ. දෙමව්පියෝ නැත්නම් භාර කාරයෙක් අත්සන් කරන්න කිව්වා. ඉතින් මගේ අම්මයි තාත්තයි ඉන්නවනේ...ඒක හින්දා භාර කාරයෝ හරි යන්නෙත් නැහැthinkingමට හිතුනේ එහෙමයි. මොනවා කරන්නද මැටි කම නේ. ඉතින් මම එදා ඉස්කෝලේ ඇරිලා මාමලගේ ගෙදර ගිහින් චූටි අක්කට (මාමගේ පොඩි දුව) කිව්වා විස්තරේ. එයා එතකොට හය වසරේ. මාත් එක්ක බැලුවම බුද්ධි මට්ටමේ වැඩි වෙනසක් නැහැ :D. ඉතින් එයා පැයක් විතර දත කට පූට්ටු කරගෙන අපේ තාත්තගේ විදියට අස්සන ගහන්න ට්‍රයි කරා praying. ම්හු...හරි ගියේම නැහැ. මාමා ඇවිල්ලා "මොකද්ද ළමයිනේ මේ කරන විකාරේ?" කියලා අහලා ලියුම "භාරකරු" විදියට අත්සන් කරලා දෙනකල්ම අපි දෙන්නා හොර අත්සන් ගහන්න ට්‍රයි කරා.

ඒකත් හරි ගියා කියමුකෝ. ඉතින් හරියටම ට්‍රිප් එක යන්න කලින් දවසේ මට හැදුනේ නැද්ද උණක්. හයියෝ...අන්න එහෙමයි මගේ මුල්ම අධ්‍යාපන චාරිකාව වතුරේ ගියේ.

ඉතින් මම මුලින්ම ඉස්කෝලෙන් හා හා පුරා කියලා ට්‍රිප් එකක් ගියේ 6 වසරෙදි. ඒකනම් එහෙමකට ආතල් ට්‍රිප් එකක් නෙමෙයි ඉතින්. අත්පුඩි ගගහා සින්දු කියලා පොඩ්ඩක් නටනවා ඇරෙන්න වෙන දෙයක් කරේ නැහැ ඔය ගමනෙදි. පොඩි ළමයි හින්දා ගුරුවරුන්ගේ ඇල්ම බැල්මත් වැඩියි නේ. බස් එකෙන් එලියට බැහැපු තැන ඉඳලම දෙන්නා දෙන්නා පේලි හැදිලා තමයි යන්න ඕන. ගින්තොට තුනී ලෑලි එක එහෙම බලන්න ගියා මට මතකයි.

ඕකෙන් පස්සේ ඇත්තම ඇත්ත ට්‍රිප් එකක් කියන්න පුළුවන් එකකට ගියේ 9 වසරෙදි. ඒ වෙලාවෙත් ඔය කොළඹ පැත්තේ කොහේ හරි තමයි ගියේ. වැඩේ කියන්නේ මට ගිය තැන් හරියකට මතක නැහැ නේ, බස් එක ඇතුලේ නටපුවයි දඟලපුවයි ඇරෙන්න. හැබැයි ඔය පහළ පින්තූරේ තියන වලව්ව නම් බලන්න ගියා මතකයි. ඒ කාලේ ඔකේ පදිංචි වෙලා හිටපු ජෝඩුවට ළමයි හිටියේ නැහැ ලු. ඒ නිසා ඒ ගැන හරිම දුකෙන්ලු හිටියේ දෙන්නා. ඔය හින්දා වලව්වේ මිදුල පුරාම පුංචි ළමයින්ගේ ප්‍රතිමා හදලා තියනවා. දැන්නම් මේ ගෙදර ළමා නිවාසෙකට දීලා ලු තියෙන්නේ.



අපේ ඉස්කෝලේ එක ශ්‍රේණියකට පන්ති 8 ක් තියනවා. ඉතින් ට්‍රිප්ස් යනකොට බස් හතරක් ගෙනත් පන්ති දෙකක් එක බස් එකකට නග්ගවනවා. මේ කියන ට්‍රිප් එක අපිට යන්න සෙට් උනේ 'D' පන්තියත් එක්ක. D එක කියන්නේ අපේ පන්තිය ඇරුනහම මුළු 9 වසරේම තිබ්බ අනිත් පිස්සු පන්තිය. ඉතින් එහෙව් පන්ති දෙකක් එක බස් එකකට දැම්මහම තත්ත්වේ කොහොමද කියලා හිතාගන්නකෝ.

මුලින්ම දෙගොල්ලෝ බස් එකේ පිටිපස්ස ට රණ්ඩු වෙන්න පටන් ගත්තා. අන්තිමට බොහොම අමාරුවෙන් සම්මතේකට ආවා දිවා ආහාරය වෙන තුරු අපේ පන්තියත් ඉන් පස්සේ D පන්තියත් ඔය මහානුභාව සම්පන්න පශ්චාත් බාගේ බෙදා ගන්නවා කියලා. හැබැයි ඉතින් හිතේ කොස්ස එහෙමමයි. ඉතින් ඔහොම සින්දු කිය කියා රැඟුම් පපා ටික වෙලාවක් යද්දී අපේ කට්ටියට මීටර් උනා අර පන්තියේ අය එක්තරා සිංදුවකට පොඩි අකමැත්තක් දක්වන බව. සිංදුව තමයි රූකාන්තගේ "කුසුමි ලතා රේණු ලතා හඬන කතාවේ" dancing. ඒ ගොල්ලෝ ඒකට අකමැති උනේ මොකද කියලනම් මම දන්නේ නෑ. හැබැයි ඒක මීටර් වෙච්ච වෙලාවේ ඉඳලම බස් එකේ ඇහුනේ ඔය සිංදුව විතරයි.

"සිත බැඳූ..නට...කුසූ..මිට...මගේ සිත ඇය..ළඟ...නෑ....රැඳෙන් නෑ....
ඇය...හැඬු...වට...තැව්..නට...ඇගේ සිතෙන් මට..වැඩක් නෑ.....වැඩක් නෑ...
හද පතුලේ..මගෙ හිත ඇතුලේ...ඔබ පමණයි...ළඟ ඉන්නේ...."

ඔය හරිය කියද්දී කට්ටියගෙ මූණු නිකන් කුණ්ඩ හට්ටි වගේ වෙලා...යන්තම් සින්දුව ඉවර වෙද්දී කට්ටිය සැනසුම් සුසුමක් හෙලනවා. එතකොටම ඔන්න අපේ කට්ටිය ආපහු පටන් ගන්නවා...

"කුසුමි ලතා...රේණු ලතා...හඬන කතාවේ..."

d'oh

ඔන්න ඔහොමයි එදා උනේ. අපි ඒ ට්‍රිප් එක පුරාවටම කිව්වේ ඔය සින්දුව විතරද කොහෙද. අන්තිම වෙද්දී ඒක අපිටත් ඇති වෙලා.

ඉතින් ඒ ට්‍රිප් එකත් එහෙම ඉවර උනා කියමුකෝ. ඊට පස්සේ ඊ ළඟ අවුරුද්දෙත් ට්‍රිප් එකක් ගියා. ඒ කියන්නේ අපි 10 වසරෙදි. ඒ පාර ගියේ හම්බන්තොට පැත්තේ. මුල්කිරිගල, උස්සන්ගොඩ, මදුනාගල උණු දිය පොකුණු එහෙම බලන්න ගියා ඔය ගමනෙදි.

මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න...
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න tongue

මටනම් ඉතින් ඒ බලපු තැන් අලුත් අත්දැකීම් නෙමෙයි. හම්බන්තොට, තිස්සමහාරාම කියන්නේ මගේ පුංචි කාලේ මතක ගබඩා වෙච්ච තැන් :)

ඒ ට්‍රිප් එකනම් පිස්සුම පිස්සු නටපු ට්‍රිප් එකක්. ආපහු 11 වසරෙදි ට්‍රිප් එකක් යන්න හිටියට ඒ වැඩේ කරගන්න බැරි උනා. ඊට පස්සේ ඉතින් එච්චරයි. ඒ ලෙවල් කාලේ ට්‍රිප්ස් ගියෙත් නෑ. ගියත් ඉතින් අර යාළුවො තරම් ෆිට් එකකුත් නෑ. 9, 10, 11 වසරවල් තමයි මට හිතෙන විදිහට ඉස්කෝල ජිවිතේ හොඳම අවුරුදු තුන. මේක එක එක අයට වෙනස් වෙන්න පුළුවන් උනාට ගොඩක් දෙනෙක්ට ඒක එහෙමම තමයි කියලයි මට හිතෙන්නේ. ඒ ලෙවල් කාලෙත් ඉතින් නරකම නැහැ. හැබැයි වැඩ වැඩියි. යාළුවො සීමිතයි. පිස්සු නැටීමේ කාලය අඩුයි :)

දැන් බලාගෙන යනකොට අපි එච්චර ට්‍රිප් ගිහිල්ල නෑ නේ :O මම කිව්වේ ඉස්කෝලෙන්. ආ... කියන්න අමතක උනා. අපි හොස්ටල් එකෙනුත් ට්‍රිප් එකක් ගියා නේ. ඒකත් ගියේ 9 වසරේදී තමා. ඒ දවස්වල ඉතින් වැඩිපුරම ෆිට් හොස්ටල් යාළුවො එක්ක. දවසේ වැඩි හරියක් ඉන්නේ එයාලත් එක්කනේ. හොස්ටල් කතා නම් ගොඩක් තියනවා කියන්න වෙලාවක් නෑ. මට මතක විදිහට ළමයි 50 - 60 අතර ගානක් තමයි හිටියේ. එයිනුත් අපේ 9 වසරේ අය හිටියේ හත් දෙනයි.

ඒ ට්‍රිප් එක ගියේ රතනපුරේ පැත්තට. බෝපත් ඇල්ල, සමන් දේවාලේ, මඩුවන්වෙල වලව්ව එහෙම බලන්න ගියා. බස් එකේ ඇතුලේ ඉස්සරහින්ම කෙසෙල් කැනකුත් එල්ලගෙන තමයි ගියේ.  එදා රෑ ආපහු එද්දී කට්ටියගේ අත පය කොර වෙලා උගුරුත් බැරැන්ඩි වෙලා තමයි ආවේ. අර කෙසෙල් කැනේ නැට්ට විතරයි ඉතුරු වෙලා තිබුනේ. අන්තිම හරිය වෙද්දී සමහරු සීට් උඩම නින්ද ගිහින් පැද්දෙන තාලෙට අර කෙසෙල් නැට්ටත් පැද්දි පැද්දි ආවා අපිත් එක්ක.

ඔය ට්‍රිප් එකේදි වෙච්ච ආතල්ම වැඩේ තමයි මොකක් හරි හේතුවක් හින්දා හොස්ටල් එකේ මෙට්‍රන් ට ට්‍රිප් එක එන්න බැරි වෙච්ච එක. හැබැයි ඒ වෙනුවට විදුහල්පතිනිය ආවා අපිත් එක්ක. එයානම් ළමයිගේ විනෝදෙට අකුල් හෙලන කෙනෙක් නෙමේ. ගමන පුරාවටම ඉස්සර සීට් එකක වාඩි වෙලා ගියා මිසක් කිසිම දේකට අත දැම්මේ නෑ. ඒ එක්කම කියන්න ඕනේ මගේ ජිවිතේ දැකපු හොඳම පෞරුෂයක් හිමි අයගෙන් කෙනෙක් තමා අපේ ඔය විදුහල්පතිනිය.


ඉතින් ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් වලට කියලා තියෙන්නේ ඔච්චර තමා. එතකොට කැම්පස් එකෙන් ගියපු ට්‍රිප්? ආ...එව්වා පස්සේ...

Tuesday, June 30, 2015

දියවන්නාවේ සැඟවුන සමුද්‍රදේවී - රාජාවලිය XXXVIII

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ ආපහු මේ පැත්තට ආවා. පහු ගිය කාලේ බ්ලොග් ලියන්න තියා බලන්නවත් උනේ නැහැ. දිග නිවාඩුවක් ගත්ත හින්දා :). පරණ පාඩම් අමතක උනාට කමක් නැහැ. ඉතිහාසේ කොතනින් පටන් ගත්තත් ඉතිහාසෙම තමා. එහෙනම් ආපහු රාජාවලියට බහිමු ඕන්...

                                                     ~~~~~~~~~~~



 ඉතින් අපි අන්තිමට කතා කළේ විජයබා කොල්ලය ගැන. විජයබාහු රජතුමා මරලා පුත් කුමාරවරු තුන්දෙනා රාජ්‍ය බෙදා ගත්ත විදිහ ගැන. වැඩිමලා බුවනෙකබාහු VII නමින් කෝට්ටේ රජ වෙනවා. දෙවෙනියා, රයිගම් බණ්ඩාර ට රයිගම ප්‍රදේශය ලැබෙනවා. බාලයා වෙච්ච මායාදුන්නේ ට සීතාවක ප්‍රදේශය ලැබෙනවා. හැබැයි මේ තුන් දෙනා ඔය බෙදාගත්ත විදියටම සමාදානෙන් රට පාලනය කරගෙන හිටියා කියලා හිතුවොත් ඒක වැරදියි. කෑල්ලක් ලැබුනට පස්සේ තව කෑල්ලක් තියනම් හොඳයි කියලා හිතෙන එක ඉතින් මිනිස් ස්වභාවය නේ.

ඉතින් මායාදුන්නේ කුමාරයාත් සීතාවක පාලකයා උනාට කෝට්ටේටත් ඇහැ ගහගෙන තමයි ඉන්නේ. මේක බුවනෙකබාහුට රහසකුත් නෙමෙයි. මේ හින්දා බුවනෙකබාහු රජතුමා ආරක්ෂාව ඉල්ලන්නේ පෘතුගීසීන් ගෙන්. අනෙක් අතට මායාදුන්නේ කුමාරයා මුස්ලිමුන් ට පක්ෂපාති වෙලා ඉන්දියාවේ සමොරින්වරයා ගෙන් උදව් ඉල්ලනවා. සමොරින්වරයා ලංකාවට මලබාර් සේනාවක් එවනවා පිළිතුරු වශයෙන්. මලබාර් හමුදාව මුලින්ම කරන්නේ බුවනෙකබාහු රජු හමු වෙලා පෘතුගීසි සොල්දාදුවන් තමන්ට බාර දෙන්නයි කියලා ඉල්ලන එක. මේ වැඩේ ලේසි කරගන්න ඔවුන් රජුට බොරුවකුත් කියනවා, මුහුදේ සටනකින් පෘතුගීසින් පැරදුන බවට.

ඒත් රජතුමා මේක එක පාරටම විශ්වාස නොකර කොළඹින් විමසීමක් කරලා ඒක බොරුවක් බව දැන ගත්ත නිසා මේ උපාය හරි යන්නේ නැහැ.  ඒ නිසා මලබාර් සේනාව කෙලින්ම සටනට බහිනවා. පෘතුගීසින් සිංහල හමුදාවේත් උදව් ඇතිව මලබාර් සේනාව පරාජය කරනවා. නොමැරී ඉතිරි වෙච්ච මලබාර් සොල්දාදුවන් මායාදුන්නේ ළඟට පලා යනවා. මේ සිද්ධියෙන් පසු බාන්නේ නැතිව මායාදුන්නේ නැවතත් සමොරින්වරයා එවපු විශාල මලබාර් සේනාවක් පෙරටු කරගෙන සෑහෙන තරම් සිංහල සොල්දාදුවනුත් බලෙන්ම වගේ එකතු කරගෙන කෝට්ටේ ට පහර දෙන්න පැමිණෙනවා. ඒත් පෘතුගීසින්ට ගෝවෙන් ආධාර ලැබෙන නිසා මේ උත්සාහයත් ව්‍යවර්ථ වෙනවා.

නැවතත් ක්‍රි. ව. 1536 දී කෝට්ටේ අත්පත් කර ගැනීමේ අදහස මායාදුන්නේ ට ඇති වෙනවා. මෙවරත් "මාටින් ද සූසා" යටතේ ගෝවෙන් එන පෘතුගීසි සේනාව නිසා ඒ උත්සාහයත් ව්‍යවර්ථ වෙනවා. ඒත් එක්කම නැවතත් සමොරින්වරයා එවන මලබාර් නැව් මුහුදේදී පෘතුගීසි නැව් වලට පහර දෙන්න පටන් ගන්නවා. එහෙත් මෙතනදීත් මලබාර්වරුන්ට අත් වෙන්නේ අන්ත පරාජයක්.

ඉතින් මින් පස්සේ අර කපන්න බැරි අත ඉඹිනවා වගේ මායාදුන්නේ කුමාරයා අයියන්ඩිගෙන් සමාව ඉල්ලලා සමාදාන වෙනවා. හැබැයි බුවනෙකබාහු රජතුමාට ඉස්සරහ ගැන විශ්වාස නැහැ. තවත් සටන් කරන්න ඔහු මහළු වැඩියි. ඔහුට අග බිසවගෙන් ඉන්නෙත් දූ කුමරියක්. ඇය තමයි "සමුද්‍රදේවී.  මේ සමුද්‍රදේවී කුමරිය රූපශ්‍රියෙන් අග තැන්පත් කුමාරිකාවක්. ඉතින් ඇයට සැමියා වන කුමාරයාට කෝට්ටේ රාජ්‍යය හිමි වෙන නිසා ඔහු රණ ශූරයෙකු විය යුතු උනා. මේ සඳහා රජු තෝරා ගත්තේ "ජයබණ්ඩාර" කුමාරයා. බෝධිගුප්ත වංශයට අයත් ජයබණ්ඩාර, කුමරියට කැමති උනත් කුමරියගේ කැමැත්ත තිබුණේ අනෙකෙකුට. ඒ "වීදියබණ්ඩාර" කුමාරයා. ඔහු බුවනෙකබාහු රජුගේ ඥාති සොයුරියකගේ පුතෙක් (ඔහුගේ සීයා තමා "තනියවල්ලභ". මතකයි නේද? අටවන වීරපරාක්‍රමබාහු රජුගේ වෙනත් බිසවකට ලැබුන පුතෙක් තමයි ඔහු). ඒ වගේම රණ ශූරයෙක්.

ඉතින් සමුද්‍රදේවි ගේත් ජයබණ්ඩාර ගේත් මංගල්ලයට මාළිගාව ජයටම ලක ලෑස්ති වෙද්දී සමුද්‍රදේවී පසුවෙන්නේ දුකෙන්. වීදියබණ්ඩාර පසුවෙන්නේ තරහෙන්. අන්තිමට එකම ගලවීම් මාර්ගය හැටියට ඔහු තෝරා ගන්නේ ජයබණ්ඩාර ගේ මරණය. ජයබණ්ඩාරගේ නිවසට කඩා වැදිලා ද්වන්ද සටනකින් පස්සේ ඔහුව මරා දමන වීදියබණ්ඩාර කෝට්ටෙන් පලා යන්නේ රාජ උදහස නිසා. එහෙත් ටික දවසකට පස්සේ දේශපාලන අවශ්‍යතාවය හින්දම වීදියබණ්ඩාරට සමුද්‍රදේවී විවාහ කරලා දෙන්න රජතුමා කැමති වෙනවා.

මේ විදියට ඔවුන්ගේ විවාහය සිද්ධ වෙද්දී රයිගම පාලකයා වෙච්ච රයිගම්බණ්ඩාර මිය යන නිසා මායාදුන්නේ රයිගමත් සීතාවක ට ඈඳා ගන්නවා.එතනින් නොනැවතී නැවතත් කෝට්ටේට පහර දෙන්න මලබාර් හමුදාවක් ඉල්ලනවා. ඒත් මෙවරත් මිගෙල් පෙරෙයිරා යටතේ ඉන්දියාවෙන් එන පෘතුගීසි සේනාව ඔවුන්ව විනාශ කර දමනවා. එතනින් නොනැවතී සිංහල හමුදාවත් එකතු කරගෙන මායාදුන්නේ හඹා යන්නට ඔවුන් රජු කැමති කරවා ගන්නවා. ගම්බිම් ගිනි තබමින් ඉදිරියට එන පෘතුගීසින් ගැන ආරංචි වන මායාදුන්නේ වහාම බුවනෙකබාහු රජුගෙන් සමාව ඉල්ලා දූතයෙක් කෝට්ටේට යවනවා. මේ නිසා මිගෙල් පෙරේරා ගේ විරෝධය මැදම සටන නැවැත්වීමට අණ කරනවා. මේ වෙලාවේ සටන නවත්වන්න නම් මිගෙල් පෙරේරා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනවා.

1. මායාදුන්නේ ගේ පුතා වෙච්ච "ටිකිරි බණ්ඩාර" කුමාරයාව ඇප කරුවෙක් හැටියට ගෙන්වා ගැනීම (මේ අනුව ටිකිරි බණ්ඩාර කුමාරයාව ගැහැණියකගේ රැකවරණය යටතේ කෝට්ටේ ට යවනවා)
2. මලබාර් සේනා නායකයින් සිව්දෙනා පෘතුගීසින් වෙත බාර දීම (මේ කොන්දේසියට යටත් වෙන්න මායාදුන්නේ කොයි තරම් අකමැති උනත් වෙන විසඳුමක් නැති නිසා එකඟ වෙනවා. මේ නිසා ඔහුට සමොරින් වරයාගේ පක්ෂපාතීත්වය ත් නැති වෙනවා)
3.  මායාදුන්නේ අල්ලා ගත් කෝට්ටේ ට අයත් ප්‍රදේශ නැවත බාර දීම

                                                 ~~~~~~~~~~~~~


මේ අතරේ කෝට්ටේ රජ මාළිගාවේ නොසිතූ කරදරයක් ඇති වෙනවා. වීදියබණ්ඩාර ට යුධමය කටයුතු නිසා පිට පළාත් වලට යන්න සිදු වෙනවා. ඒ අතරේ මාළිගාවේ ආරක්ෂාව බාරව ඉන්නේ "දියේගෝ  ද අරව්ජෝ" කියලා පෘතුගීසි නිලධාරියෙක්. මේ මනුස්සයා එච්චර හොඳ චරිතයක් තියන කෙනෙක් නෙමෙයි. සමුද්‍රදේවී ටත් අනවශ්‍ය විහිලු කරන එක ඔහුගේ කැත පුරුද්දක්. මේක නොඉවසන සමුද්‍රදේවී ඔහුට බැනලා පන්නා ගන්නවා. ආපහු මාළිගාවට එන වීදියබණ්ඩාර ට මේ ගැන ආරංචි උනාට පස්සේ දේවියගේ ප්‍රශ්න කරලා තරහෙන් අර පෘතුගීසි නිලධාරියා සොයා යනවා. ඒත් ඔහුව සොයා ගන්න බැරි වෙද්දී ඔහුගේ තරහ තවත් වැඩි වෙනවා.



මාළිගාව පුරාම පෘතුගීසි නිලධාරියාත් දේවියත් ගැන දූෂමාන ආරංචි පැතිරෙද්දී වීදියබණ්ඩාර දේවියත් සැක කරන්න පටන් ගන්නවා. අන්තිමේ තීරණයකට එන වීදියබණ්ඩාර, දේවියට ආදරෙන් කතා කරලා උයනේ ඇවිදින්න එක්ක යනවා. දියවන්නාවේ ඉවුර ළඟටම ආවට පස්සේ  දේවියට ඔහුගේ වෙනස් වීමක් පේනවා. ඉතින් කාරණය අහලා බැලුවම ඔහු කියන්නේ "මම මේ තරම් ඔබට ආදරය කරද්දීත් අර වගේ ආරංචි පැතිරෙන්න දෙන්නේ ඇයි?" කියලයි.  දේවිය අහිංසකයි කියලා කොයි තරම් කිව්වත් ඔහු කියන්නේ "අහිංසක උනත් නූනත් මේ අවනම්බුවේ ඉවරයක් දකින්න නම් උඹත් ඉවර වෙන්නම ඕනේ" කියලා. එහෙම කියලා සමුද්‍රදේවී දියවන්නා ඔයේ රැළි අතරට තල්ලු කර දමනවා.

කෝට්ටේ සුන්දරිය ගේ අවසානය සිද්ධ උනේ අන්න එහෙමයි. මේ සිද්ධිය ගැන පොඩ්ඩි ලියපු කතාව මෙතන තියනවා.



Monday, April 20, 2015

දේසේ හැටියට වාසේ

හඳ අල්ලපු රට යනු මහම මහ විපිරියාස රටකි. සීතල රටක් විදියට ප්‍රසිද්ධ උනත් මේකට සීතල රටක් යයි කටක් ඇර කියන්නට බැරිය. සීතල තියෙන්නේ එක කාලයකට විතරය. ඒ නොවැම්බර් සිට පෙබරවාරි දක්වාය (නැතහොත් වින්ටර් එකේ ය :p). ඒකත් නුවර එළියේ වගේ සුව දායක සීතලක් නොවේ. නස්තාර් වෙන්නම සීතලය.

අපි මේ හිටපු ටික කාලයට කිසිම වින්ටර් එකක් එක සමාන උනේ නම් නැත. එක වතාවක් "බ්ලිසාර්ඩ්" කියා එකක් ඇවිත් අඩි ගණනක හිම තට්ටුවක් අතුරා, පාසල්, විශ්ව විද්‍යාල, කාර්යාල සියල්ලම වසා දමන තැනට කටයුතු සිද්ධ කෙරුවේය. ඊ ළඟ වතාවේ Polar vertex කියලා එකක් සිද්ධ වී පැත්ත පලාතම අයිස් වලින් වහලා ගල් කර දැම්මේය (මෙන්න ඒ ගැන මම ලියපු හැටි).

මේ වතාවේ නත්තල් ඉවර වෙන තුරුත් හිම පොදක් දකින්න නොලැබුන නිසා "මේක නම් නියම වින්ටර් එකක්" යයි කියමින් සතුටින් පසු වෙද්දී ඇත්තටම "නියම වින්ටර් එක" ආවේය. සෙල්සියස් සෘණ 20 ටත් එහා උෂ්ණත්වය පහළ බැස අපට පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට අවස්ථාව සළසා දී ඒ මදිවාට එය මාර්තු ඉවර වන තුරුම ඇද්දේය. ඔන්න ඔය විදියට හැම වින්ටර් එකකම මොකක් හෝ ගිනි ගෙඩියක් දෙන්නේය. අපිටත් දැන් එහෙම දෙයක් නොවුනොත් නිකන් පාළු ගතියක් දැනේ.



ඉතින් වින්ටර් ඉවර උනාට පසු හොඳ සෞම්‍ය කාලගුණයක් උදා වනු ඇතැයි ඔබ සිතනු ඇත. එව්වා හඳේ ය (හාවා ලිඳේ ය). යන්තම් අප්‍රේල් මාසයේ විතරක් මල් පිපෙන්නට, දළු දමන්නට (ගස් වල හොඳේ) සෞම්‍ය කාලගුණයක් උදා වී ඉන්පසු මේක සවුදි අරාබියක් බවට පත් වන්නේය. සමර් එකේ දී උෂ්ණත්වය අනිවාර්යෙන් සෙල්සියස් 40 පනී. ඒ දාහය නිවා ගන්නට මිනිසුන් බුරුතු පිටින් පූල් වලට පනී.




කාලගුණය ගැන කිව්වොත් ඉතින් එහෙමය. ඉතින් වින්ටර් එකේ වගේම සමර් එකෙත් කටු කකා ඉන්න ජනතාවට dessert එක හැටියට ටොර්නේඩෝ, හේල් වැනි ඒවා හම්බ වෙන්නේ ය. මේ තියෙන්නේ සුළි කුණාටු ගැන මම ලියපු පෝස්ටු ය. වහින්නෙත් එහෙමය. වගේ වගක් නැතිව ඉඳ හිටි ගමන් පණ කඩාගෙන වහී. හරියට අපේ සොමී තාලම්පට ගනහවා වගේ ය.  එකක් ගහන්නට අමතක උනොත් ඒකට හරියන්න ඊ ළඟ වතාවේ දෙකක් ගසයි.

මේවා ඉතින් ලෝක සොබාවය යැයි කියා හිත හදා ගැනීමට පුළුවන. එහෙත්...මේ ගිය සතියේ දවසක මහ දවල් හඳ පායා තිබුණි. හඳ මාමා පායන්නේ රෑට යැයි අප කුඩා කල අසා තිබුනද එව්වා මෙහාට වලංගු නැත. දේසේ හැටියට බාසේ වෙනස් විය යුතුය. එහෙයින් දැන් අපට පොඩ්ඩන්ට කියා දෙන්නට වෙන්නේ, හඳ මාමා රෑටත් පායනවා, හිතුනහම දවල්ටත් පායනවා යි කියාය. 

ඉතින් හඳ අල්ලපු රට යනු අන්න එහෙම රටකි. 

Tuesday, March 17, 2015

විජයබා කොල්ලය - රාජාවලිය XXXVII




ඔන්න එහෙනම් පරංගින් ලංකාවට ගොඩ බැහැලා කෝට්ටේත් ගිහින් අපේ රජතුමාව රවට්ටගෙන වෙරළ තීරයේ පැළපදියම් උනාට  පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන අද ලිපියෙන් කතා කරමු.

අටවන වීර පරාක්‍රමබාහු රජතුමා ක්‍රි. ව. 1509 දී මිය යනකොට කෝට්ටේ රාජධාණිය එතුමාගේ පුත්තු හතර දෙනාට බෙදලා දීලයි තිබුනේ (මේ හතර දෙනා ගැන කලින් ලිපියේ කිව්වා). මේ වෙද්දී යාපනේ ප්‍රදේශයත් වෙනම රාජ්‍යයක් හැටියට පරරාජසේකර නම් රජෙක් යටතේ තමයි තිබුනේ. ඉතින් රජතුමාගේ මරණින් පස්සේ රජ වෙන්නේ කවුද කියන ප්‍රශ්නේ පැන නගිනවා.

පරංගින් ලංකාවට ආවේ අටවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ උනාට ඔවුන් මුණගැහිලා සම්මුති එහෙම ඇති කරගත්තේ ධර්මපරාක්‍රමබාහු එක්ක වගෙයි පේන්නේ. කොහොමත් ඒ වෙද්දී පුතුන්ට පාලන බලතල පවරලානේ තිබුනේ. කොළඹ කොටුවක් හදන්න කියලා පරංගින්ට අවසර දුන්නෙත් මේ ධර්මපරාක්‍රමබාහු තමා. මේ හේතු හින්දා ඔහු එක්ක ජනතාව එතරම් හිත හොඳකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. පොතේ හැටියට රජකම ලැබෙන්න ඕනා ධර්ම පරාක්‍රමබාහු ට උනාට රට වැසියා ඒ ගැන මනාපෙකින් ඉඳපු බවක් පේන්න නැහැ.

ඉතින් ඔහු ධර්ම පරාක්‍රමබාහු IX  (ක්‍රි. ව. 1509 - 1528) නමින් රජ උනත් ඒත් එක්කම ඔහුගේ ඊ ළඟ සොහොයුරු විජයබාහු VII (ක්‍රි. ව. 1509 - 1521) නමින් රජ වෙච්ච බව තමා පේන්න තියෙන්නේ. සමහර විට ජනයාගේ වගේම සංඝ රත්නයේ සහයත් ඔහුට ලැබෙන්න ඇති. මේ හින්දා ධර්ම පරාක්‍රමබාහුට රජ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කැලණියේ ඉඳගෙන. (සැ. යු. මෙතන ටිකක් මූලාශ්‍ර වල අපැහැදිලි තැනක්. මේ ගැන පැහැදිළි තොරතුරක් තියනම් නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. )

ඉතින් තමන්ගේ මල්ලිට එරෙහිව ධර්මපරාක්‍රමබාහු පෘතුගීසීන් ගෙන් උදව් ඉල්ලද්දී විජයබාහු කරන්නේ ඉන්දියාවේ පැළපදියම් වෙලා ඉඳපු සමොරින් වරයාගෙන් පෘතුගීසින් පළවා හරින්න උදව් ඉල්ලන එක. සමොරින් කියන්නේ "මුහුදේ රජා" වගේ තේරුමක් තියන වචනයක්. මේ කාලය වෙද්දී පෘතුගීසින් ගේ එකම අරමුණ වෙලා තිබුනේ අරාබීන්ට අයිති වෙලා තිබ්බ ඉන්දියන් සාගරයේ වෙළඳ කටයුතු තමන්ගේ අතට ගන්න එක. ඒ කියන්නේ මේ සමොරින්වරයාත් පෘතුගීසින් ගේ හතුරෙක් තමා. ඔය හින්දම ඔවුන්ට උවමනා වෙනවා කොළඹ බල කොටුවක් හදන්න. අපේ ධර්ම පරාක්‍රමබාහු රජතුමාත් ඉතින් අහන පරක්කුවෙන් ඒකට අවසර දෙනවා. ලංකාවේ මුස්ලිමුන් විසින් ඔවුන්ගේ වෙළඳ ගබඩාවට කරපු පහර දීම එහෙමත් මේ බලකොටුව හදන්න හේතු උනාලු.

ඉතින් විජයබාහු රජුගේ ඉල්ලීමට අනුව සමොරින් වරයා උපකාර හමුදාවක් එව්වලු ලංකාවට. මලබාර් හමුදාව කියන්නේ ඒකට තමයි. සිංහල - මලබාර් හමුදා වල එකතුවෙන් පෘතුගීසි බලකොටුවට පහර දෙන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කිහිප වතාවක්ම ආහාර සැපයුම කපා හැරීම වගේ දේවල් වලින් පෘතුගීසින් කොටු කර ගන්න හැදුවත් එතෙරින් ආධාර ලැබෙන නිසා ඒක ලේසි පහසු වැඩක් වෙන්නේ නැහැ.

ඉතින් විජයබාහු රජතුමා පෘතුගීසින් එක්ක සටන් කරන එක අත ඇරලා තවත් විවාහයක් කර ගන්නවා. ඒ තමා කීරවැල්ලේ බිසව. මේ බිසව එක්දරු වැන්දඹුවක්. මේ වෙද්දී රජතුමාට අග බිසවගෙන් පුතුන් තුන් දෙනෙක් ඉන්නවා, බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ නමින්. රජතුමා මේ කීරවැල්ලේ බිසවටයි එයාගේ දරුවටයි හරිම ආදරෙයි ලු. රජකමත් ඒ දරුවට දෙන්න යනවා කියන ආරංචිය මේ කුමාරවරුන්ගේ කනට වැටෙනවා. ඉතින් ඔවුන් ඒකට එරෙහි වෙද්දි රජතුමා සැළසුම් කරනවා මේ කුමාරවරු මරවලා ඒ කරදරෙන් නිදහස් වෙන්න. මේක දැන ගත්තම තුන් දෙනාම කෝට්ටෙන් මීගමු පළාතටත් කන්ද උඩ රටටත් පලා යනවා. ඒ වෙද්දී කන්ද උඩ රට රජ කරන්නේ ජයවීර කියලා රජෙක්. මේ කුමාරවරුන්ගේ ඥාති සහෝදරියක් එක්ක විවාහ වෙලා ඉඳපු ජයවීර රජතුමා, ඔවුන්ට ඉඳුම් හිටුම් දීලා ඔවුන් පියාට විරුද්ධව සංවිධානය කරන සටනටත් උදව් දෙනවා.

ඉතින් මේ තුන් දෙනා සේනා සංවිධානය කරගෙන තාත්තාට විරුද්ධව සටන් කරන්න කෝට්ටේට එද්දී විජයබාහු රජතුමාගේ සෙන්පතිවරු කැමති වෙලා නැහැ කුමාරයින් එක්ක සටනට යන්න. ඒ එක්කම ජනතාවගේ සහයත් කුමාරවරුන්ට ලැබිච්ච නිසා මාලිගාව කොල්ල කාලා රජතුමා ගෙන් බලය පැහැර ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ තාත්තා වෙච්ච විජයබාහු රජතුමාව මරවන්නත් ඔවුන් පසුබට වෙන්නේ නැහැ. ක්‍රි. ව. 1521 දී සිද්ධ වෙච්ච මේ සිද්ධිය තමයි "විජයබා කොල්ලය" නමින් හැඳින්වෙන්නේ.

දැන් ඉතින් කොල්ල කෑවට මදිනේ, රාජධානිය තුන් දෙනාට බෙදා ගන්නත් එපැයි. ඉතින් වැඩිමලා වෙච්ච බුවනෙකබාහු කෝට්ටේ සිහසුනේ ඉන්දවලා (බුවනෙකබාහු VII, ක්‍රි. ව. 1521 - 1551), රයිගම් බණ්ඩාර ට රයිගම පාලනය බාර දීලා, මායාදුන්නේ සීතාවක රජු බවට පත් උනා.

ඔන්න ඕකට තමා විජයබා කොල්ලය කියන්නේ...එයින් පස්සේ, කට්ටියට මක් උනාද කියලා බලමුකෝ ඊ ළඟ ලිපියෙන්.


ප. ලි. සෑහෙන කාලෙකට පස්සේ තමයි ආවේ මේ. කට්ටියට මාව අමතකම වෙලා තිබුනත් පුදුම වෙන්න දෙයක් නෑ . දැන් බලාගෙන යනකොට ඇම් ඇස් සී එක කරපු කාලේ මීට වඩා හොඳයි වගේ. කොහොම උනත් දේශ සංචාරයකුත් හේතු උනා මේ බ්ලොග් ලිවිල්ල අතපසු වෙන්න. බලමුකෝ ඒ විස්තරත් එක්කම තව ලිපියක් ලියන්න.

Related Posts Plugin for WordPress, Blogger...