Tuesday, March 17, 2015

විජයබා කොල්ලය - රාජාවලිය XXXVII




ඔන්න එහෙනම් පරංගින් ලංකාවට ගොඩ බැහැලා කෝට්ටේත් ගිහින් අපේ රජතුමාව රවට්ටගෙන වෙරළ තීරයේ පැළපදියම් උනාට  පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන අද ලිපියෙන් කතා කරමු.

අටවන වීර පරාක්‍රමබාහු රජතුමා ක්‍රි. ව. 1509 දී මිය යනකොට කෝට්ටේ රාජධාණිය එතුමාගේ පුත්තු හතර දෙනාට බෙදලා දීලයි තිබුනේ (මේ හතර දෙනා ගැන කලින් ලිපියේ කිව්වා). මේ වෙද්දී යාපනේ ප්‍රදේශයත් වෙනම රාජ්‍යයක් හැටියට පරරාජසේකර නම් රජෙක් යටතේ තමයි තිබුනේ. ඉතින් රජතුමාගේ මරණින් පස්සේ රජ වෙන්නේ කවුද කියන ප්‍රශ්නේ පැන නගිනවා.

පරංගින් ලංකාවට ආවේ අටවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ උනාට ඔවුන් මුණගැහිලා සම්මුති එහෙම ඇති කරගත්තේ ධර්මපරාක්‍රමබාහු එක්ක වගෙයි පේන්නේ. කොහොමත් ඒ වෙද්දී පුතුන්ට පාලන බලතල පවරලානේ තිබුනේ. කොළඹ කොටුවක් හදන්න කියලා පරංගින්ට අවසර දුන්නෙත් මේ ධර්මපරාක්‍රමබාහු තමා. මේ හේතු හින්දා ඔහු එක්ක ජනතාව එතරම් හිත හොඳකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. පොතේ හැටියට රජකම ලැබෙන්න ඕනා ධර්ම පරාක්‍රමබාහු ට උනාට රට වැසියා ඒ ගැන මනාපෙකින් ඉඳපු බවක් පේන්න නැහැ.

ඉතින් ඔහු ධර්ම පරාක්‍රමබාහු IX  (ක්‍රි. ව. 1509 - 1528) නමින් රජ උනත් ඒත් එක්කම ඔහුගේ ඊ ළඟ සොහොයුරු විජයබාහු VII (ක්‍රි. ව. 1509 - 1521) නමින් රජ වෙච්ච බව තමා පේන්න තියෙන්නේ. සමහර විට ජනයාගේ වගේම සංඝ රත්නයේ සහයත් ඔහුට ලැබෙන්න ඇති. මේ හින්දා ධර්ම පරාක්‍රමබාහුට රජ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කැලණියේ ඉඳගෙන. (සැ. යු. මෙතන ටිකක් මූලාශ්‍ර වල අපැහැදිලි තැනක්. මේ ගැන පැහැදිළි තොරතුරක් තියනම් නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. )

ඉතින් තමන්ගේ මල්ලිට එරෙහිව ධර්මපරාක්‍රමබාහු පෘතුගීසීන් ගෙන් උදව් ඉල්ලද්දී විජයබාහු කරන්නේ ඉන්දියාවේ පැළපදියම් වෙලා ඉඳපු සමොරින් වරයාගෙන් පෘතුගීසින් පළවා හරින්න උදව් ඉල්ලන එක. සමොරින් කියන්නේ "මුහුදේ රජා" වගේ තේරුමක් තියන වචනයක්. මේ කාලය වෙද්දී පෘතුගීසින් ගේ එකම අරමුණ වෙලා තිබුනේ අරාබීන්ට අයිති වෙලා තිබ්බ ඉන්දියන් සාගරයේ වෙළඳ කටයුතු තමන්ගේ අතට ගන්න එක. ඒ කියන්නේ මේ සමොරින්වරයාත් පෘතුගීසින් ගේ හතුරෙක් තමා. ඔය හින්දම ඔවුන්ට උවමනා වෙනවා කොළඹ බල කොටුවක් හදන්න. අපේ ධර්ම පරාක්‍රමබාහු රජතුමාත් ඉතින් අහන පරක්කුවෙන් ඒකට අවසර දෙනවා. ලංකාවේ මුස්ලිමුන් විසින් ඔවුන්ගේ වෙළඳ ගබඩාවට කරපු පහර දීම එහෙමත් මේ බලකොටුව හදන්න හේතු උනාලු.

ඉතින් විජයබාහු රජුගේ ඉල්ලීමට අනුව සමොරින් වරයා උපකාර හමුදාවක් එව්වලු ලංකාවට. මලබාර් හමුදාව කියන්නේ ඒකට තමයි. සිංහල - මලබාර් හමුදා වල එකතුවෙන් පෘතුගීසි බලකොටුවට පහර දෙන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කිහිප වතාවක්ම ආහාර සැපයුම කපා හැරීම වගේ දේවල් වලින් පෘතුගීසින් කොටු කර ගන්න හැදුවත් එතෙරින් ආධාර ලැබෙන නිසා ඒක ලේසි පහසු වැඩක් වෙන්නේ නැහැ.

ඉතින් විජයබාහු රජතුමා පෘතුගීසින් එක්ක සටන් කරන එක අත ඇරලා තවත් විවාහයක් කර ගන්නවා. ඒ තමා කීරවැල්ලේ බිසව. මේ බිසව එක්දරු වැන්දඹුවක්. මේ වෙද්දී රජතුමාට අග බිසවගෙන් පුතුන් තුන් දෙනෙක් ඉන්නවා, බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ නමින්. රජතුමා මේ කීරවැල්ලේ බිසවටයි එයාගේ දරුවටයි හරිම ආදරෙයි ලු. රජකමත් ඒ දරුවට දෙන්න යනවා කියන ආරංචිය මේ කුමාරවරුන්ගේ කනට වැටෙනවා. ඉතින් ඔවුන් ඒකට එරෙහි වෙද්දි රජතුමා සැළසුම් කරනවා මේ කුමාරවරු මරවලා ඒ කරදරෙන් නිදහස් වෙන්න. මේක දැන ගත්තම තුන් දෙනාම කෝට්ටෙන් මීගමු පළාතටත් කන්ද උඩ රටටත් පලා යනවා. ඒ වෙද්දී කන්ද උඩ රට රජ කරන්නේ ජයවීර කියලා රජෙක්. මේ කුමාරවරුන්ගේ ඥාති සහෝදරියක් එක්ක විවාහ වෙලා ඉඳපු ජයවීර රජතුමා, ඔවුන්ට ඉඳුම් හිටුම් දීලා ඔවුන් පියාට විරුද්ධව සංවිධානය කරන සටනටත් උදව් දෙනවා.

ඉතින් මේ තුන් දෙනා සේනා සංවිධානය කරගෙන තාත්තාට විරුද්ධව සටන් කරන්න කෝට්ටේට එද්දී විජයබාහු රජතුමාගේ සෙන්පතිවරු කැමති වෙලා නැහැ කුමාරයින් එක්ක සටනට යන්න. ඒ එක්කම ජනතාවගේ සහයත් කුමාරවරුන්ට ලැබිච්ච නිසා මාලිගාව කොල්ල කාලා රජතුමා ගෙන් බලය පැහැර ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ තාත්තා වෙච්ච විජයබාහු රජතුමාව මරවන්නත් ඔවුන් පසුබට වෙන්නේ නැහැ. ක්‍රි. ව. 1521 දී සිද්ධ වෙච්ච මේ සිද්ධිය තමයි "විජයබා කොල්ලය" නමින් හැඳින්වෙන්නේ.

දැන් ඉතින් කොල්ල කෑවට මදිනේ, රාජධානිය තුන් දෙනාට බෙදා ගන්නත් එපැයි. ඉතින් වැඩිමලා වෙච්ච බුවනෙකබාහු කෝට්ටේ සිහසුනේ ඉන්දවලා (බුවනෙකබාහු VII, ක්‍රි. ව. 1521 - 1551), රයිගම් බණ්ඩාර ට රයිගම පාලනය බාර දීලා, මායාදුන්නේ සීතාවක රජු බවට පත් උනා.

ඔන්න ඕකට තමා විජයබා කොල්ලය කියන්නේ...එයින් පස්සේ, කට්ටියට මක් උනාද කියලා බලමුකෝ ඊ ළඟ ලිපියෙන්.


ප. ලි. සෑහෙන කාලෙකට පස්සේ තමයි ආවේ මේ. කට්ටියට මාව අමතකම වෙලා තිබුනත් පුදුම වෙන්න දෙයක් නෑ . දැන් බලාගෙන යනකොට ඇම් ඇස් සී එක කරපු කාලේ මීට වඩා හොඳයි වගේ. කොහොම උනත් දේශ සංචාරයකුත් හේතු උනා මේ බ්ලොග් ලිවිල්ල අතපසු වෙන්න. බලමුකෝ ඒ විස්තරත් එක්කම තව ලිපියක් ලියන්න.

Related Posts Plugin for WordPress, Blogger...