Wednesday, January 11, 2017

රූකඩ රජෙක් සහ අයෝමය සෙනෙවියෙක් - රාජාවලිය XL

ඉතින් කොහොමද අපේ කට්ටිය? යහතින් ඉන්නවද? කාලෙකට පස්සෙ ඇවිල්ලා බලද්දි මම හිතුවා මට සෑහෙන පෝස්ට් තොගයක් මිස් වෙලා ඇති කියලා. ම්හු..බලාගෙන යනකොට එහෙම දෙයක් වෙලත් නැහැ. සමහරුන්ගෙ blog වල ලියාගෙන ගියපු කතා වස්තු එහෙම තාම නවත්තපු තැන් වල එහෙම්මමයි. එහෙම බලනකොට ඉතින් මමත් නරකම නෑ :) කමක් නෑ, මම හිතා ගත්තා කවුරු ලිව්වත් නැතත් අලුත් අවුරුද්දේ මොනවම හරි ලියන්න ඕන කියලා. ඔන්න එහෙනම් රාජාවලිය...එතැන් සිට....

                                                 ~~~~~~~~~~~~~~

ගිය පාර අපි අන්තිමට කතා කලේ බුවනෙකබාහු රජතුමා මිය ගිහිල්ලා ධර්මපාල කුමාරයා රජ වෙච්ච හැටි. ඉතින් මේ ධර්මපාල රජ වෙනවත් එක්කම ගෝවේ පෘතුගීසි නිලධාරියා කෝට්ටෙ ට එනවා. ඒ බුවනෙකබාහු රජුගේ ධනය අත්පත් කර ගැනීමේ අරමුණෙන්. 

ඒත් ධනය හන්ගපු තැනක් නම් හොයා ගන්න බැරි වෙනවා. මේ අතරේ වීදියබණ්ඩාර ඇතුලු සෙනෙවියෝ ඔවුන්ට කියනවා සීතාවක යටත් කර ගැනීමට උදව් කලොත් විහාර වලට අයත් ධනය ඔවුන්ට පවරා මාළිගාවේ සැවොම කිතු දහම වැළද ගන්නා බව. මේ නිසා ධනය සෙවීම නවතා ඔවුන් සීතාවකට පහර දීමට යනවා.  

සීතාවක සේනාව සටනින් පැරදී පසු බැසීම නිසා සාමාන්‍ය වැසියන් ද නගරය අතහැර පලා යනවා. පෘතුගීසීන් නගරය වනසමින්, සතුන් පවා මරමින් සන්හාරයක යෙදෙන නිසා මෙය කෝට්ටේ ජනතාවගේත් අප්‍රසාදයට ලක් වෙනවා. 

බොහෝ අය කෝට්ටේ අතහැර සීතාවකට යාමට පටන් ගන්නවා. මේ නිසා බිය ගන්නා ධර්මපාල රජතුමා පෘතුගීසි සේනා නැවත ගෙන්වා ගන්නවා. කෙසේ වෙතත් පෘතුගීසි නිලධාරීන් ගේ ධනය සෙවීමේ ආශාව යටපත් වෙන්නේ නැහැ. මේ සදහා සෙනෙවියන් එකිනෙකා අත් අඩන්ගුවට ගනිද්දී වීදියබණ්ඩාර පලා යනවා. මේ අල්ලාගත් සෙනෙවියන් ඉන්දියාවට ගෙන යාමට සැරසෙද්දී ධර්මපාල රජු ඉතාමත් අමාරුවෙන් ඔහුගේ බාප්පා වන "තම්මිත්ත" බේරා ගන්නවා. මේ ආකාරයෙන් තරමක ධනයක් කොල්ල කා ගැනීමට මේ නිලධාරියා සමත් වෙනවා. 



මෙවැනි හේතු නිසා පෘතුගීසීන් එපාම වෙන වීදියබණ්ඩාර කෝට්ටේ පාලනය සියතට ගන්නවා. ධර්මපාල රජතුමා නමට පමණක් රූකඩ රජෙක් ළෙස පෙනී හිටිනවා. පෘතුගීසීන්ට විරුද්ධව වැඩ කරන අභීත වීදියබණ්ඩාර වටා ජනතාව පෙළ ගැසෙද්දී පෘතුගාලයේ රජුට මේ බව ආරන්චි වෙනවා. මේ ගැන සොයා බලද්දී ඔහුට පෙනී යනවා එයට හේතුව ගෝවේ පෘතුගීසි නිලධාරියාගේ අකටයුතු කම් බව. ඉතින් කොල්ල කා ගත් ධනය ආපසු දෙන ළෙස ඔහුට අණ කළත් ඔහු එය දැනටමත් විකුණා අවසන්. කළ හැකි එකම දෙය වීදියබණ්ඩාර සමග මිතුරු වීම බව සිතන ඔහු ඒ සදහා සාම දූතයෙක් යවනවා. 

කොල්ල කා ගත් ධනය වෙනුවට මුදල් ගෙවීමෙන් පසු වීදියබණ්ඩාරගේ මිත්‍රත්වය ලබා ගැනීමට හැකි උනත් කෙටි කලකින් වීදියබණ්ඩාර නැවතත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට පටන් ගන්නවා. මේ නිසා වීදියබණ්ඩාර අල්ලා ගැනීමට "දියේගෝ ද මාලෝ" ප්‍රමුඛ සොල්දාදුවන් දස දෙනෙක් යවනවා. මිතුරු වෙසින් වීදියබණ්ඩාර රවටා ඔහු අත් අඩන්ගුවට ගැනීමට මොහුට හැකි වෙනවා. 

ඉන්පසු කෝට්ටේ නිල නොලත් පාලකයා ළෙස පෘතුගීසීන් පත් කරන්නේ ඔවුන්ට පක්ෂපාතී "තම්මිත්ත සූරියබණ්ඩාර". ඔහු වීදියබණ්ඩාරගේ බාල සොහොයුරෙක්. ඔහුත් ධර්මපාල රජුත් වීදියබණ්ඩාර නිදහස් කර ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. 

වීදියබණ්ඩාරගේ වත්මන් දේවිය වන "සූරියදේවී" පමණක් ඔහු නිදහස් කර ගැනීමට උත්සුක වෙනවා (මේ සූරියදේවී කියන්නේ මායාදුන්නේ ගේ දියණිය. වීදියබණ්ඩාර මායාදුන්නේ ගේ සිර කරුවෙක්ව ඉද්දී ඔහුට පැන යාමට උදව් කරන්නේ ඇය.). වීදියබණ්ඩාර සිර කර සිටින තැනට කිට්ටු ගල්ගමුව ට යන සූරියදේවී සිර කූඩුවට උමගක් කප්පවනවා. මේ රහසිගත උමග ඔස්සේ පලා එන වීදියබණ්ඩාර රයිගමට පලා ගොස් බල කොටුවක් තනා නැවතත් පෘතුගීසීන්ට හා කතෝලිකයින්ට විරුද්ධව සටන් කිරීමට පටන් ගන්නවා. 

මේ අතරේ වීදියබණ්ඩාර නැති කිරීමේ උවමනාවෙන් සිටින මායාදුන්නේ පෘතුගීසීන් ට පක්ෂපාතී වී ඔවුන්ගේ උදව් ලබා ගැනීමට උත්සාහ කරනවා. මායාදුන්නේ ගේ පුත් ටිකිරිබණ්ඩාර සහ පෘතුගීසීන් අතර ඇති වෙන ගිවිසුමක් අනුව සේනා දෙකම එක් වී වීදියබණ්ඩාර අල්ලා ගැනීමට එනවා. අවුරුදු පහක්ම මේ ආකාරයට වීදියබණ්ඩාර අල්ලා ගැනීමට තැත් කළත් හැම විටම ඔවුන් පරාජය වෙනවා. අන්තිමේදී ටිකිරිබණ්ඩාර ප්‍රමුඛ තිස් දාහක සේනාවක් සමග සටන් කිරීමේදී එතනින් පලා යන වීදියබණ්ඩාර එවකට උඩරට රජු වන "කරලියද්දේබණ්ඩාර" හමුවට ගොස් ඔහුගෙන් ආරක්ෂාව ලබා ගන්නවා. එහෙත් වීදියබණ්ඩාර පලවා හරින ළෙස සීතාවක ටිකිරි කුමරු කරලියද්දේ ට බලපෑම් කරන නිසා වීදියබණ්ඩාර කැමැත්තෙන්ම සත් කොරලේ ප්‍රාදේශීය පාලකයෙක් වන එදිරිල්ලේ රාළ ගේ වාසස්ථානයට යනවා. 

එදිරිල්ලේරාළ ගේ මරණයෙන් පසු සත් කෝරළයේ පාලනය වීදියබණ්ඩාර අතට පත් වෙන අතර විශාල හමුදාවක් සමග එන ටිකිරි කුමරුගෙන් ගැලවීමට ඔහු උතුරුකරයට පලා යනවා. 

උතුරේ දෙමළ රජු වන "වගරාජ" හමු වී පෘතුගීසීන් පලවා හැරීමට විශාල සේනාවක් සන්විධානය කර ගන්නවා. සටනට යාමට පෙර නල්ලූර් කෝවිලේ ආගමික වතාවත් පවත්වද්දී වෙඩි බෙහෙත් ගොඩකට වැටෙන ගිනි පුළිගුවක් වරදවා වටහා ගන්නා වීදියබණ්ඩාර කඩුව ඔසවාගෙන සටනට සැරසී සිටගන්නවා. මෙය වරදවා වටහාගත් දෙමළ සෙන්පතියන් ඔහු හා සටනට එනවා. සියඹලා ගසකට පිට දී සිට ගන්නා වීදියබණ්ඩාර ඔවුන් සමග තනිවම නිර්භීත සටනක යෙදෙනවා. සියඹලා ගසට නැගගත් සෙබලෙක් පිටුපසින් පහර දී ඔහු මරා දමන තුරුම සටනේ යෙදෙනවා. 

මේ වීරෝදාර සෙනෙවියාගේ මරණයෙන් පසු ඔහුගේ පුත් ධර්මපාල රජු, පූජකයින්ගේ බල කිරීම මත ක්‍රිස්තියානි දහම වැළද ගන්නවා. ඔහු "දොන් ජුවන් ධර්මපාල" නමින් බෞතීස්ම වන අතර ඔහු අනුව යන දේවිය "දෝන කතිරිනා" නමින් බෞතීස්ම වෙනවා. 

ඉතින් මේ විදියට ලන්කා ඉතිහාසයේ තවත් පරිච්චේදයක් නිමා වෙනවා. 

Related Posts Plugin for WordPress, Blogger...