දැන් කට්ටියට මතක ඇති නේ අපි ගිය පාර සිංහල රජ පෙළපතේ අවසානය ගැන කතා කළා. ඒ කියන්නේ නායක්කර් රජ පෙළපත ආරම්භ වෙච්ච හැටි. අපේ සිංහල රජවරුන්ගේ මධුරාවෙන් බිවසුන් ගෙන්නිමේ පුරුද්ද නිසා තමා එහෙම උනේ.
ඉතින් මුල්ම නායක්කර් රජතුමා වෙච්චි "ශ්‍රී විජය රාජසිංහ" රජ්ජුරුවෝ නායක්කර් උනත් බුදු දහම වැළඳ ගත්තා. ඒක ඉතින් රටේ නීතිය නේ. නීත්‍යානුකූල රජකම ලැබෙන්න නම් බෞද්ධයෙක් වෙන්න ඕන ලු. ඒ විතරක් නෙමෙයි, වැලිවිට සරණංකර හිමියන්ගෙන් ශිල්ප ඉගනගෙනත් තිබුනා ලු. බුදු දහම වැළඳ ගත්තා වගේම අනුග්‍රහයත් දක්වලා තියනවා. කොටින්ම දළදා ප්‍රදර්ශනයකුත් පැවැත්තුවා ලු.
මේ රජතුමා ලන්දේසින් එක්කත් හරහට තමා වැඩ කරලා තියෙන්නේ. ලන්දේසීන්ට කුරුඳු ලබා දෙන්නේ නැතුව ස්වාධීනව වෙළඳාම කරගෙන ගියා ලු. ඒ කියන්නේ කලින් ලන්දේසින් එක්ක අත්සන් කරපු 1638 ගිවිසුම ට පිටින් වැඩ කරා කියන එක නේ. මේ නිසා ඒ ගිවිසුමත් බිඳ වැටෙනවා. මේ හින්දා ලන්දේසින් එක්ක ගැටුම් පවා ඇති උනා ලු.
හැබැයි මෙතුමා කරපු එක දෙයක් නිසා රාජ සභාවේ රදළයින් ගේ අප්‍රසාදයට ලක් වෙලා තියනවා. ඒ තමයි රාජ සභාවේ වැදගත් බලතල සියල්ලක්ම තමන්ගේ නෑයින්ට පවරපු එක. මේ සිංහල නායක්කර් සීතල බල අරගලය හින්දා පරිපාලනය ටිකෙන් ටික පරිහානියට පත් වෙන්න පටන් ගත්තා ලු.
කොහොම උනත් මෙතුමා ට රාජ්‍ය කරන්න වෙන්නේ අවුරුදු 8 යි. එතුමා ගේ මරණෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ බිරිඳගේ සහෝදරයා "කීර්ති ශ්‍රී රාජසිංහ" (ක්‍රි.ව. 1747 - 1782) නමින්. බිරිඳගේ සොහොයුරාට රජකම දීමේ නායක්කර් සිරිතට අනුව තමයි එහෙම උනේ.
මෙතුමාත් විජය රාජසිංහ රජතුමා වගේ බුදු දහම වැළඳ ගෙන ශාසනයට ලොකු සේවයක් කරලා තියනවා. උපසම්පදා උත්සව පවත්වලා දළදා මාලිගයත් අංග සම්පූර්ණ කරලා තැනෙව්වා ලු.
කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මාතර, කටුවන, තංගල්ල වැනි ලන්දේසි බලකොටු වලට පහර දීලා තියනවා. පස්සේදී ලන්දේසින් එක්ක එකඟතාවයකට එන්න උත්සාහ කලත්, ඒ වෙද්දී ඉන්දියාවේ හිටපු ඉංග්‍රීසින් ගෙන් උදව් ගන්න අදහසින් ඒක ප්‍රමාද කරලා තියනවා.
ඉතින් මෙතුමා ත් මධුරාවෙන් කුමාරිකාවන් කිහිප දෙනෙක්ම ගෙන්නවා ගත්තත් ඔහුට දරුවන් ඉඳලා නැහැ. ඒ නිසා ඔහුගෙන් පස්සේ රජු හැටියට නම් කරලා තියෙන්නේ තමන්ගේ ම සොහොයුරා. ඔහු රජ වෙනවා "රාජාධි රාජසිංහ" (ක්‍රි.ව. 1782 - 1798) නමින්.
රාජාධි රාජාසිංහ රජතුමාත් ඒ වගේම තමයි. හොඳ ශ්‍රද්ධාවන්ත ඒ වගේම හොඳ සාහිත්‍ය සහ භාෂා දැනුමකුත් තිබුණු රජ කෙනෙක්. මිනිස්සුත් මෙතුමාට කැමැත්තෙන් ලු හිටියේ. මේ කාලයේදී තමයි ඉංග්‍රීසින්ගේ ඇල්ම බැල්ම අපේ ලංකාව දිහාටත් හැරෙන්නේ.
රජතුමා හමු වෙන්න එන ඉංග්‍රීසි නියෝජිතයෙක් රජතුමාගෙන් අවසර ඉල්ලනවා පහත රට ලන්දේසින්ගෙන් නිදහස් කරලා දෙන්නම් කියලා. දැන් ඉතින් කට්ටියට මතක් වෙනවා ඇති නේ මීට සමාන සිද්ධියක්? අර දෙවැනි රාජසිංහ රජතුමා ඉඟුරු දීලා මිරිස් ගත්ත සිද්ධිය. පෘතුගීසින් එළවලා ලන්දේසීන් රට අල්ලගත්ත හැටි මතකයි නේ. ඉතිං රාජාධි රාජසිංහ රජතුමා නම් මේකට අහු උනේ නැහැ. එතුමා අවසරය දුන්නේ නැහැ.
හැබැයි ඉතින් එහෙම අවසර දුන්නේ නැහැ කියලා ඉංගිරිසි කාරයෝ නිකං හිටියා කියලා ඔයාලා හිතනවානම් ඒක වැරදී. රජතුමා ව සතේකට ගණන් ගන්නේ නැතුව ඔවුන් ලන්දේසි බලකොටු වලට පහර දෙන්න පටන් ගත්තා.
ඔවුන්ට පුළුවන් වෙනවා අවුරුදු දෙකක් ඇතුලත, 1796 වෙද්දී ලන්දේසීන්ට යටත්ව තිබුණු සියළුම ප්‍රදේශ තමන් භාරයට ගන්න. ඔවුන්ට ඉතිරි වෙන්නේ උඩරට රාජ්‍ය අල්ලා ගැනීම විතරයි. ඒත් ඔවුන් ඒකට ඉක්මන් නොවෙන්නේ ඒක ඒ තරම් ලේසි වැඩක් නොවන බව තේරුණ නිසා වෙන්න ඇති. කොහොමහරි ඉතින් ඔන්න ඔහොමයි අපිට මිරිස් වෙනුවට නයි මිරිස් හම්බ උනේ. මේක ඉල්ලන් කෑමක් නොවුනත් ඉතින් බලෙන්ම කවනකොට කන්න උනා.
ඉතින් 1798 දී රජාතුමා මිය යද්දී ඔහුට දරුවන් හිටියෙත් නැහැ. සිහසුනට සුදුස්සෙක් නම් කළෙත් නැහැ. මේ නිසා බලතල පැවරුණේ ඒ වෙද්දී අගමැති වෙලා හිටි පිළිමතලාවේ ට. ඉතින් ඊට පස්සේ වෙච්ච දේවල් අපි ඊ ළඟ ලිපියෙන් බලමු නේද?