Wednesday, March 28, 2018

දන්න වංහුං අප කන්නසාමි - රාජාවලිය XLVIII

ඔන්න ළමයිනේ එහෙනම් මතක ඇති නේ ගියපාර ලිපියේ අන්තිමට වෙච්ච දේ. ඉංගිරිස් කාරයෝ මෙහෙ ඇවිල්ලා බලෙන්ම පහතරට අල්ල ගත්ත හැටි වගේම රාජාධිරාජසිංහ රජතුමා සිහසුනට උරුමක්කාරයෙක් ඉතුරු නොකරම මිය ගිය හැටි. ඉතින් ඒ වෙද්දී මහාධිකාරම් වෙලා හිටපු පිළිමතලාවේ ට තමයි බලතල පැවරිලා තියෙන්නේ.

දැන් ඉතින් රජ කමට පත් කරන්නේ කවුද කියන ප්‍රශ්නේ එද්දී ඇමති මණ්ඩලය සූදානම් උනේ රාජාධිරාජසිංහ රජුගේ බිරිඳ වෙච්චි "උපේන්ද්‍රම්මා" බිසවගේ සොයුරා වන මුත්තුසාමි කුමාරයා රජ කරවන්න. ඒත් පිළිමතලාවේ මහාධිකාරම්ගේ හිතේ තියෙන්නේ වෙනත් අදහසක්. උපේන්ද්‍රම්මා බිසවගේ සොහොයුරියකට පුතෙක් ඉන්නවා "කන්නසාමි" කියලා. ඒ වෙද්දී ලා බාල වයසේ හිටපු මේ කුමාරයා රජ කරවලා තමන්ට උවමනා විදියට රට පාලනය කරන්නයි ඔහුට උවමනා වෙන්නේ. කොටින්ම කියනවනම් නායක්කර් වංශික රජෙක් වෙනුවට ආපහු සිංහල රජෙක් රජ කරවන යටි අරමුණෙන් තමයි ඔහු වැඩ කරන්නේ. ඒකේ පළමු පියවර විදියට කන්නසාමි කුමරා රජ කරවන අදහස ඒ විදියටම ඉෂ්ඨ වෙනවා.



ඒ අනුව කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ (1798 - 1815) නමින් රජ වෙනවා. ඉන් පස්සේ පිළිමතලාවේ තමන්ට ඕනෑ විදියට හිතුමතේට දේශපාලන කාරණා වලට මැදිහත් වෙනවා. මුලින්ම ඔහුගේ සතුරු රදළයින් ගෙන් පළිගැනීම අරඹන ඔහු දෙවෙනි අධිකාරම් වෙච්චි "ඇරැව්වාවල" සහ දන්ගමුවේ දිසාව මරා දමනවා. මේ සිද්ධිත් එක්ක රජතුමා පිළිමතලාවේ ගැන සැක කිරීමට පටන් ගන්නවා වගේම ඔහුගේ බහට අවනත නොවී නායක්කර් වරුන්ට නැඹුරුවක් දක්වනවා.

ඉතිං පිළිමතලාවේ උත්සාහ කරනවා ඉංග්‍රීසින් රජු කෙරෙහි බිඳුවා ඔවුන් අතර සටනක් ඇති කොට සිහසුන තමා අතට ගැනීමට. මෙයට උපක්‍රමයක් විදියට තමයි ක්‍රි. ව. 1802 දී ඉංග්‍රීසින්ට අයත් ප්‍රදේශ වලින් උඩරටට වෙළඳාමේ ආපු මුස්ලිම් වෙළෙන්දන් පිරිසක් මිනිසුන් යොදා කොල්ල කන්න සැලැස්සුවේ. මේ සිද්ධිය ඉංග්‍රීසින්ගේ උඩරට ආක්‍රමණයක් දක්වා දුර දිග ගියා. මේ වෙලාවේ හඟුරන්කෙත ට පලා යන රජතුමා පසුව කොළඹ හංවැල්ල දක්වා ගිහින් ඉංග්‍රීසින්ට විරුද්ධව විශාල සටනක් කරනවා. මේ කාලයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වෙලා හිටියේ "ෆ්‍රෙඩ්රික් නෝර්ත්".

ඉතින්, නැවතත් ක්‍රි, ව. 1804 දී ඉංග්‍රීසින් උඩරට ට සේනාවක් එවන නිසා නැවතත් සටනක් ඇති වෙනවා. ඒත් ඒ ආක්‍රමණයත් සාර්ථක වෙන්නේ නැහැ. මෙයින් පස්සේ නෝර්ත් ආණ්ඩුකාරවරයා ධූරයෙන් අස් වෙලා ඒ වෙනුවට මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා පත් උනාලු. ඉතින් කොහොම හරි රජු සිහසුනෙන් නෙරපන්න උත්සාහ කරන පිළිමතලාවේ, රජු මැරවීමට නොයෙක් උපක්‍රම යොදනවා. රජු මරා තමාට සිහසුන දුන්නොත් ඉංග්‍රීසින් ට පක්ෂපාති රජෙක් වන බව කියමින් ඉංග්‍රීසින්ට ලිපි යවනවා. ක්‍රි. ව. 1808 දී රජුට විරුද්ධව සත් කෝරළේ ඇති වෙන කැරැල්ලත් ඒ වගේම කුමන්ත්‍රණයක්. ඉතින් මේ පිළිමතලාවේ ගේ කුමන්ත්‍රණ වලින් හෙම්බත් වෙන රජතුමා, අවසානයේදී ඔහුගේ හිස ගසා දමන්න තීරණය කරනවා. ඒ සිද්ධිය වෙන්නේ 1812 දී.

නිමක් නැති කුමන්ත්‍රණ, සතුරු ආක්‍රමණ මැද්දේ ආතතියට පත් වෙන රජතුමා සුරාවටත් ඇබ්බැහි වෙනවා. ඒත් මේ හැම දේම මැද්දේත් ඔහු නුවර වැව තැනවීම, මගුල් මඩුව, පත්තිරිප්පුව තැනවීම වගේ දේවලුත් කරනවා. කොහොම උනත් පිළිමතලාවේගෙන් පසුවත් එල්ල වුනු නොනවතින කුමන්ත්‍රණ නිසා රජු අන්තිම දරුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. අදත් ජනතා අප්‍රසාදයට පත් වෙන්න හේතුවක් වෙච්චි ඇහැලේපොළ පවුල ඝාතනය කරන්නත් ඒක බලපානවා.

දෙවෙනි අධිකාරම් තනතුරේ හිටි  "ඇහැලේපොළ"  අධිකාරම් තුමා මහාධිකාරම් තනතුරට  පත් වෙන්නේ පිළිමතලාවේ ගේ මරණින් පස්සේ. ඇහැලේපොල ත් පිළිමතලාවේ වගේම නායක්කර් වංශයට විරුද්ධ කෙනෙක්. ඔහුත් එවකට ආණ්ඩුකාරය වෙච්ච "රොබට් බ්‍රවුන්රිග්" අතරත් ලිපි හුවමාරු වෙනවා. රජු සහ ඇහැලේපොල අතර විරසකයට ප්‍රධානම හේතුවක් වෙන්නේ මොල්ලිගොඩ අධිකාරම්. ඔහු රජුට කේලම් කියන්නේ බල තණ්හාව නිසා. පසුව ඇහැලේපොළ රජුට විරුද්ධව සබරගමුවේ කැරැල්ලක් ඇති කිරීම නිසා කිපෙන රජතුමා ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු දරුවන් නිවාස අඩස්සියේ තියා ගන්නවා. මේ සබරගමු කැරැල්ල මැඩපවත්වන්න යවන්නේ මොල්ලිගොඩ ව. ඔහු ඇහැලේපොල ගේ හතුරෙක්. කැරැල්ල ව්‍යවර්ථ උනාට පස්සේ ඇහැලේපොළ ඉංග්‍රීසින් වෙතට පළා යන අතර මොල්ලිගොඩ ට මහාධිකාරම් තනතුර ලැබෙනවා.

ඇහැලේපොළ වලව්ව අද...



ඇහැලේපොල ඉංග්‍රීසින් සමග රජුට විරුද්ධව කුමන්ත්‍රණ අරඹන නිසා රජතුමා, ක්‍රි. ව. 1814 මැයි 17 වනදා මුළු රටම කම්පා කළ ඒ නඩු තීන්දුව ලබා දෙනවා. එකල උඩරට නීතියේ හැටියට රාජද්‍රෝහීන් ගේ පවුල්වල පිරිමින් හිස් ගසා දමන්නත් ගැහැණුන් දියේ ගිල්වා මරන්නත් නියම උනා ලු. ඒ අනුව අභීතව දංගෙඩිය ට බෙල්ල තැබූ "මද්දුම බණ්ඩාර" ගේ කතාව හැමෝම දන්නවා. ඒ වෙද්දී ඔහුට අවුරුදු 9 ක් ලු. ඒ සංවේදී සිද්ධිය දැකපු නුවර වැසියෝ දින ගණනක් ආහාර ගත්තෙත් නැහැ ලු. ගඟේ ගිල්වූ ඇහැලේපොල කුමාරිහාමි ගොඩ ගත් ස්ථානයේ තියෙන ස්මාරකය තමයි මේ.




ජනප්‍රවාදයේ තියන තවත් කතාවක් තමයි ඇහැලේපොල ගේ රාජද්‍රෝහී කමට අමතරව මේ දඬුවමට හේතු වුන තවත් කාරණාවක් තිබුණා කියන එක. ඒ, ඇහැලේපොළ කුමාරිහාමි තමන් වෙත නම්මා ගැනීමට රජු අසමත් වීම.

මේ තියෙන්නේ ඇහැලේපොල ගමේ පිහිටි වීර මද්දුම බණ්ඩාරගේ  පිළිමය.


ඉතින් මේ ඛේදවාචකයෙන් පස්සේ වැඩි කාලයක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට රජකම් කරන්න වෙන්නේ නැහැ. ඉක්මනින්ම ලංකා රාජ වංශයේ අවසානය සනිටුහන් වෙනවා. ඒ තොරතුරු අපි ඊ ළඟ ලිපියෙන් කියවමු.
Related Posts Plugin for WordPress, Blogger...